හිස්බුල්ලා ආරක්ෂාවට තර්ජනයක්



හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් අනතුරු අඟවයි.

ලෙබනන ජනාධිපති මිෂෙල් අවුන් සහ අගමැති සාද් හරිරී හමුවෙමින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඒ බව එලෙස අනතුරු ඇඟවීය.

කලාපයේ ගැටුම්වලට හිස්බුල්ලා සංවිධානය මැදිහත් වීමත් ඒ නිසාම හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා කීය. ලෙබනනයේ පවතින්නේ සභාග ආණ්ඩුවකි. හිස්බුල්ලා සංවිධානයේ සහයෝගය ලබන පක්ෂ ද සභාග ආණ්ඩුවේ සිටී.

සිරියාවේ සටන්වදින හිස්බුල්ලා කණ්ඩායම්වලට ඉරානයේ සහාය ලැබෙන බව පැවසෙන අතර හිස්බුල්ලා සංවිධානය තම රටට ද තර්ජනයක් යැයි ඊශ්‍රායලය පවසයි. හිස්බුල්ලා සංවිධානය ලෙබනන පාර්ලිමේන්තුවද නියෝජනය කරන එම සංවිධානය ආයුද සන්නද්ධ අංශයකින් සහ දේශපාලන සංවිධානයකින් සමන්විතය.

හිස්බුල්ලා සංවිධානයේ ආයුද සන්නද්ධ අංශය සහ දේශපාලනය අංශ අතර තමන්ට පැහැදිලි වෙනසක් පෙනෙන්නේ නැතැයි ද ලෙබනනයේ සංචාරයක යෙදී සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා කීය.

“හිස්බුල්ලා සංවිධානය ගැන කතා නොකර ලෙබනනයේ ස්ථාවරත්වය, ස්වෛරීත්වය සහ ආරක්ෂාව ගැන කතා කිරීමෙන් පලක් නැහැ” යැයි රාජ්‍ය ලේකම් ටිලර්සන් වැඩිදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා

අල්ජසීරා


RECOMMEND POSTS