සෞදිය 2015 දී කටාරය අක්‍රමණය කරන්න හදලා



සෞදි අරාබිය 2015 වසරේ දී, කටාර් රාජ්‍යය ආක්‍රමණය කිරීමට සැලැසුම් සකස් කළැයි ඊ මේල් පණිවුඩ කිහිපයක් මගින් අනාවරණය වී ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඇමෙරිකා තානාපති සූසෙෆ් අල් ඔටයිබාගේ ඊ මේල් පණිවුඩ කිහිපයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟය.

ඊ මේල් ප්‍රසිද්ධ කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැතැයි ‘මිඞ්ලීස්ට් අයි’ පුවත් සේවය වාර්තා කරයි.

ඊ මේල් හරහා සූසෙෆ් අල් ඔටයිබා සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ විශේෂ නියෝජිතවරයකු වන එලියෙට් එබ්‍රාම්ස් අතරේ සිදුවුණු කතාබහට මුල් වී ඇත්තේ සෞදිය කටාර් රාජ්‍යය ආක්‍රමණය කිරීමට පිඹුරුපත් සකස් කිරීම සම්බන්ධවය.

2015 වසර වෙද්දී, සෞදියේ රජු වූයේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද්ය. ඔහු කටාර් රාජ්‍යය ආක්‍රමණය කිරීමට සැලැසුම් සකස් කර ඇත්තේ, කටාර් රාජ්‍යය නිසා නිර්මාණය වී ඇති සියලු අර්බුද අවසන් කිරීමේ පිළියමක් ලෙස යැයි ඊ මේල් කතාබහ හරහා පැහැදිලි වී තිබේ. සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් කටාර් ආක්‍රමණයකට සැරැසී ඇත්තේ ඔහු මියයෑමට මාස කිහිපයකට පෙරය.

2015 වසරේ ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. එලියෙට් එබ්‍රාම්ස්ගේ එක් පිළිතුරක සඳහන් වෙන්නේ සෞදි රජු කටාර් රාජ්‍යය ආක්‍රමණයකට සූදානම් වූ බව දැනගත්තා නම් ඔබාමා ඊට විරෝධය දක්වනු ඇතැයි කියාය.

සෞදිය අද වනවිට අසල්වැසි කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා නවතා එරටට සම්බාධක පනවා ඇත. සෞදියට සහාය පළ කිරීමක් ලෙස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත්, බහරේනයත්, ඊජිප්තුවත් කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා නවතා දමා ඇත. ඒ, පසුගිය ජූනි 5 වැනිදා සිටය.

සෞදිය චෝදනා කරන්නේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට මහ අන්තවාදයට අනුග්‍රහය දක්වන බවටය. කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්ති සෞදියේ උදහසට ලක්වී ඇත. සෞදිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් එල්ල කරන චෝදනා කටාර් රාජ්‍යය තරයේ ප්‍රතික්ෂේප කරයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS