සිවිල් වැසියන් මිනිස් පළිහක් කරගෙන



පැරණි මොසූල් නගරය තුල 100,000කට වැඩි ඉරාක සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් මිනිස් පළිහක් ලෙස අයි.එස් ත්‍රස්තවාදීන් යොදා ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය. 

ජිහාඩ් සංවිධානය 2014දී මොසුල් නගරය අල්ලා ගැනීමෙන් පසුව එහි වැසියන්ට ම්ලේච්ඡ පාලනයකට උරුමකම් කීමට සිදු වු අතර අයි.එස් ත්‍රස්තවාදීන් ගෙන් මොසුල් නගරය යළි අත්පත් කර ගැනීම සඳහා ඉරාක හමුදාවන් සටන් කරමින් සිටිති. 

මොසූල් නගරයෙන් පිටත සිටින සාමාන්‍ය වැසියන් අයි.එස් ත්‍රස්තයින් අල්ලා ගෙන අයි.එස් ත්‍රස්තයින්ගේ අවසාන බළකොටුව වන පැරණි මොසූල් නගරයට බලාහත්කාරයෙන් රැගෙන යන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද ඉරාක නියෝජිත, බෲනෝ ගෙඩ්ඩෝ ප්‍රකාශ කළේය. 

“එම ප්‍රදේශයේ ආහාර නෑ, විදුලිය නෑ, ප්‍රදේශයේ පවතින තත්ත්වය ඉතාමත් වේගයෙන් දරුණු අතරට හැරෙමින් පවතිනවා, මිනිස්සු පුදුමාකාර දුකක් විදින්නේ’’යනුවෙන්  එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද ඉරාක නියෝජිතයා ප්‍රකාශ කළේය. 

මාස නවයකට පෙර මොසූල් නගරය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කල දිනයේ සිට පුද්ගලයින් 862,000ක් අවතැන් වී ඇති අතර නැගෙනහිර මොසූල් නගරය මුදා ගැනීමෙන් පසු පුද්ගලයින් 195,000ක් නැවත පදිංචියට පැමිණ ඇති බව වාර්තා වේ.  

බටහිර මොසූල් නගරයෙන් පැමිණි පුද්ගලයින් 677,000ක් තවමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වා ගෙන යනු ලබන අවතැන් කදවුරු 13ක සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන බව වාර්තා වේ. 

මේ දක්වා අවතැන් පුද්ගලයින් 500,000කට වඩි ප්‍රමාණයකට පහසුකම සපයා ඇති බවත් අයි.එස් ත්‍රස්තවාදීන් ගෙන් පළා එන මොසූල් නගර වැසියන්ට උදව් උපකාර කිරීමට සුදානමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද ඉරාක නියෝජිත, බෲනෝ ගෙඩ්ඩෝ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 

 


RECOMMEND POSTS