සිරියාවේ ගූථා ප්‍රදේශයට ආධාර



මාස කිහිපයකට පසු පළමු වරට කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට පසුගිය දා ආධාර රැගත් වාහන පෙළක් ඇතුළු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

අවසන්ට වරට ආහාර පානාදිය, වෛද්‍යාධාර රැගත් එක්සත් ජාතීන්ට අයත් වාහන පෙළක් මෙම ප්‍රදේශයට ගොස් ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.

සිරියානු රජයේ හමුදා සහ රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පසුගිය සතියේදී පමණක් නැගෙනහිර ගූථා හි සිවිල් වැසියන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව මානව හිමිකම් සංවිධාන සඳහන් කරයි.

“ආහාර, සෞඛ්‍ය සහ පෝෂණ ද්‍රව්‍ය රැගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ සිරියාවේ රතු අඩ සඳ සංවිධානයේ වාහන රැසක් නැගෙනහිර වෙත ගමන් කළා” යැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධ කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

ඩැමැස්කස් නුවරින් ඈතට වන්නට පිහිටි නැගෙනහිර ගූථා හි සිවිල් වැසියන් 400,000කට වැඩි පිරිසක් 2013 වසරේ සිට හමුදාවේ ග්‍රහණයට නතු වී ඇතැයි ද ඔවුන් බොහෝ දෙනකු ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර හිඟයකට මුහුණ පා ඇතැයි ද මානව හිමිකම් සංවිධාන කියයි.

මේ අතර මානුෂීය ආධාර සැපයීම සඳහ දින 30ක සටන් විරාමයක් ඉල්ලමින් යෝජනාවක් කෙටුම්පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කටයුතු කරමින් සිටී.

හර්ෂණ තුෂාර සිල්වා

ඒ.එෆ්.පී


RECOMMEND POSTS