සිරියාවේ සිරියාවන්ත දියණිය !





මගේ නගරය නටබුන් වෙලා"මේ හඩ, යුද්ධයෙන් උරුමවූ දිළිඳුකම සහ දුෂ්කරතා කොතරම් තිබුණද සිරියාවේ අඳුරු අලෙප්පෝ නගරයේ සුන්බුන් මැද උපාධිය වෙනුවෙන් වෙහෙසෙන තරුණියකවන මාරියම් හමාඩ්ය. 

නිරතුරුව මුහුණදෙන අනතුරුදායක තත්වය මැද ගුවන් ප්‍රහාරවලින් දිවිගලවාගැනීමට දෙවතාවක්ම නිවෙස හැර පලාගිය 22 හැවිරිදි මාරියම්, ජලය සහ විදුලිය සැපයුම හෝ නිසිලෙස නොලැබෙන සුන්බුන් වී ගිය අලෙප්පෝ නගරය මැද සරසවි සිසුවියක ලෙස තම උසස් අධ්‍යාපනය නොකඩවා කරගෙන යෑමට වෙර දරන්නීය.

වසර හතරකට පෙර පාසල් අධ්‍යාපනය නිමකළ මාරියම්, අලෙප්පෝ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු මුහුණ දුන්නේ අනපේක්‍ෂිත සිදුවීමකටය.

ඇය වටා සිටි සිසු සොයුරු සොයුරියන් ගණනාවකට ජීවිත අහිමි කරමින් වැදුණු රොකට් වෙඩි ප්‍රහාරවලින් දිවි බේරාගැනීමට ඇය සමත්වූව ද සරසවිය වසා දැමීම හේතුවෙන් ඇයට අධ්‍යාපනය අහිමි විය.

ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන University of the People, නැතහොත් 'ජනතාවගේ සරසවිය' නමැති දුරස්ථ අධ්‍යාපන සරසවියේ වාණිජ විෂය ධාරාවේ පාඨමාලාවක් හදාරන ඇය අනාගතය දෙස ශුභවාදී ලෙස බලමින් එය යළි ගොඩනංවා ගැනීමේ උත්සාහයක යෙදී සිටින්නීය.

විශ්වවිද්‍යාලයකට යාමට වරම් නැති ලොවපුරා වෙසෙන ජනතාව සඳහා පිහිටුවා ඇති මෙම අන්තර්ජාල සරසවියේ අලෙප්පෝ නගරයේ සිසු සිසුවියන් 15 දෙනෙක් අධ්‍යාපනය ලබති.

මෙම විශ්වවිද්‍යාලය සඳහා දායකත්වය සපයන්නේ ගේට්ස් පදනම, හෙව්ලේට් පැකාර්ඩ් සහ ගූගල් යන සමාගම්ය. වසර හතරේ උපාධි පාඨමාලා පැවැත්වෙන අතර ස්වෙච්ඡාවෙන් උගන්වන විද්‍යාර්ථීන් සහ විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් පාඨමාලා මෙහෙයවනු ලබයි.

එහෙත් එම උපාධිය පහසුවෙන් ළඟාකරගතහැකි ඉලක්කයක් නොවන බව මරියම් පැවසුවේ වරින්වර සම්බන්ධතාව කැඩෙමින් යළි සම්බන්ධවන skype තිරය ඔස්සේ යන්තම් සිනාසෙමිනි.

"මම දැක්කා මගේ යාලුවෝ මැරෙන හැටි, මට අමතක කරන්න බැහැ ඒ සිදුවුණු දේ" යනුවෙන් ඇය පවසයි." මම දැක්කා ශිෂ්‍යයෝ තුවාලවෙලා ඉන්න හැටි, ලේ ගලපුව, මැරිච්ච අය, හැම තැනම. හැමදෙයක්ම හරිම භයානකයි" 

නිවසින් පිටත පමණක් නොව මාරියම් පවසන ආකාරයට නිවසේ සිටීම ද භයානකය."අපේ ගෙදර අය ගෙයක් කුලියට ගත්ත. ඒක තිබුනෙ යුද්ධ කෙරෙමින් පැවතුන හරියේ ඉඳල මීටර් 500 ක් විතර දුරින්. ඒ නිසා අපි ඉන්න හරියට රොකට් වෙඩි නිතර වැටුණ.
අපේ අසල්වැසියෝ ගොඩක් මැරුණ. අපේ ගෙදරටත් මෝටාර් වැදුන දෙපාරක්ම" ඇය පවසන්නේ සුපුරුදු යමක් පිලිබඳ විස්තර කරන්නාක් මෙනි.දැන් ඇය මේ රුදුරු යුද කලාපය තුළ අන්තර්ජාල සරසවියක සිසුවියක වී සිටී. 


( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS