සාම කතා අවුල් කරන්න හදනවා



සිරියානු සාම කතා අවුල් කිරීමට, ඇමෙරිකාව ‘අල් නුස්රා’ පෙරමුණේ සහාය ලබා ගන්නවා යැයි සිරියානු විදේශ ඇමැති වලීඞ් මෞලෙම් චෝදනා කරයි.

ඔහු මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක් වෙමින්, රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ රුසියානු නියෝජිතයන් හමුවී සාකච්ඡා කරද්දීය.

අල් නුස්රා යනුවෙන් හැඳින්වෙන්නේ අල් කයිඩා සංවිධානයේ සටන්කාමීන්ය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සේම, අල් නුස්රා පෙරමුණේ සටන්කාමීන් ද සිරියානු රජයේ හමුදාවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි.

සිරියානු අර්බුදයේ දී ඇමරිකාවේ සහාය හිමිවන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. එම කණ්ඩායම් සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ අල් නුස්රා පෙරමුණය.

සිරියානු සාම කතා පැවැත්වෙන්නේ කසක්ස්තානයේ අස්තානා නුවරදීය. සිරියානු රජයේ නියෝජිතයෝ සහ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ නියෝජිතයෝ ඊට සහභාගී වෙති.

සාම කතා සඳහා මැදහත්කරුවන් ලෙස කටයුතු කරන්නේ රුසියාව, ඉරානය සහ තුර්කියයි. ඇමෙරිකාව මෙම සාකච්ඡා සඳහා සහභාගී නොවෙයි.

ඇමෙරිකාව තරයේ පවසන්නේ ඔවුන්ට අවශ්‍ය සිරියානු ජනපති ධුරයෙන් බෂීර් අල් අසාද් ඉවත් කිරීම කියාය. ඇමෙරිකාව සිරියානු රජයට එරෙහිව සටන් වදින කුර්දි සටන්කාමීන්ට ද සහාය දෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS