සම, ස්ථීර සහ වගකීම්



උතුරු දිග සිරියාවේ කරන ලද යුද මෙහෙයුම් “සම, ස්ථීර සහ වගකීම්” සහගත යැයි තුර්කිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය සිටින සිරියානු ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බව ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දා නිවේදනය කළේය. ඒ අනුව සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් එම ප්‍රදේශවල යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව තුර්කිය ඉන් අනතුරුව නිවේදනය කළේය. එසේ නිවේදනය කිරීමෙන් අනතුරුව තුර්කිය එම ප්‍රදේශවල යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. ඒ සමඟම රටවල් කිහිපයකින් සිරියාවට චෝදනා එල්ල විය.

තමන් ප්‍රහාර එල්ල කරන්නේ ලද්දේ තමන්ට තිබෙන තර්ජනවලට සාමානුපාතිකව බවත් ඒවා සියල්ල ගණනය කළ හැකි බවත් ප්‍රහාරවල සියලු වගකීම තමන් බාර ගන්නා බවත් තුර්කිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යැවූ අදාළ ලිපිය මගින් කරුණු පැහැදිලි කර තිබේ.

“ත්‍රස්තවාදී තීරයක්” නිර්මාණය වීම වැළැක්වීමත් දීර්ඝ කාලයක් මුළුල්ලේ තුර්කි ජනතාවට තිබෙන තර්ජනය මැඩ පැවැත්වීමත් අරමුණු කරගනිමින් මෙහෙයුම් දියත් කළ බව කරුණු පැහැදිලි කරමින් තුර්කිය සඳහන් කර තිබේ.
උතුරු දිග සිරියාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද රැස්වීමට නියමිතව තිබෙන තත්ත්වයක් තුළ තුර්කිය අදාළ ලිපිය යොමු කර තිබේ.

“මේ මෙහෙයුමත් අප කලින් කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුම් හා සමාන” යැයි මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින තුර්කි තානාපති ෆෙරිදුන් සිනිර්ලියෝග්ලු පැවැසීය.
“මෙහෙයුම්වලදී ඉලක්ක කරන ලද්දේ ත්‍රස්තවාදීන්. ඔවුන් සැඟවී සිටින ස්ථානවලට, වාහනවලට, ආයුධවලට, ආයුධ ගබඩා කර ස්ථානවලට ප්‍රහාර එල්ල කළා” යැයි ද හෙතෙම කීය.

සිරියානු-තුර්කි දේශසීමාවේ ත්‍රස්ත ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව තුර්කිය බදාදා නිවේදනය කළේය. එපමණක් නොව යුප්රටීස් ගංඟාවට නැගෙනහිරින් පිහිටි ත්‍රස්ත ඉලක්කවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ද තුර්කිය සඳහන් කළේය.

මේ අතර අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් රඳවා ගෙන සිටින සිරකඳවුරකට ද තුර්කිය ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් පස් දෙනකු, සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සටන්කාමීන් තිදෙනකු මියගිය බවත් දුසිමකට වැඩි සිවිල් වැසියන් පිරිසක් මියගිය බවත් තවදුරටත් වාර්තා විය. මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ සිට සටන්කාමීන්ගේ ඉලක්ක 181ක් වෙත ප්‍රහාර එල්ල කළ බව තුර්කි හමුදා වැඩිදුරටත් සඳහන් කළේය.

මිඞ්ල් ඊස්ට් අයි


RECOMMEND POSTS