වෙසක් සිරි ගලා ගිය අබුඩාබියේ වෙසක්



ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම දෙවන වරට සංවිධානය කරන ලද වෙසක් සංස්කෘතික මංගල්‍යය 2017 මැයි මස 19 වන දින අබුඩාබි සිටි ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත්විය.

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටා එක්ව සිටින සියළුම සමිති සමාගම්, සංවිධාන වල එකතු වෙන් සුසැදි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම, මෙම වෙසක් සංස්කෘතික මංගල්‍යය සංවිධානය කරන ලදී.

මව් බිමේ සංස්කෘතියෙන් බැහැරව ඊට හාත්පසින්ම වෙනස් ජන සාමාජයක් සිටින එක්සත් අරාබි එමීරය වැනි රටක අපේ රටේ අනන්‍යතාව, සංස්කෘතිය, සදාචාරය, මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් ඒ පිළිබඳ ඉදිරි පරපුරට අවබෝධයක් ලබා දීම සංවිධානය කරනු ලබන සෑම වැඩ සටහනකම  මූලික අරමුණ වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වුවද ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරන දරු පිරිසක් සිටින එමෙන්ම අබුඩාබියේ පවතින ස්ලාම් සංස්කෘතිය තුළම ගැවසෙන දරුවන්ට මෙවැනි වැඩ සටහන් මඟින් තම මව්බිම, තම ආගම, තම ජාතිය, තම අනන්‍ය සංස්කෘතිය පිළිබඳ ලබා දෙන්නේ අප්‍රමාණ අවබෝධයකි.

පසුගිය 19 වන දින පවත්වන්නට යෙදුනු වෙසක් සංස්කෘතික මංගල්‍යයේ ප්‍රධාන අංගය ලෙස පැවතුනේ වෙසක් පෙරහැරයි. ඒ අවස්ථාව වන විට මෙතෙක් පෙරහැරක් නොදැක සිටි ශ්‍රී ලංකික දරු දැරියන් සිටි බව නොරහසකි. ඒ අනුව පෙරහැරක තිබිය යුතු සියළුම අංගයන් ඇතුළත් වන පරිදි පෙරහැර පෙළ ගැස්සවීමට සංවිධායක කමිටුව ගෙන තිබූ උත්සහය අගය කළ යුතුය.

කස කරුවන් පෙරටු කර ගනිමින් ගමන් ආරම්භ කළ වෙසක් පෙරහැර ගිණිබෝල කරුවන්, සේසත් මුරායුධ කරුවන්, බෙර කරුවන්, මල් හා කොඩි කරුවන් මෙන්ම අලංකාරවත් නර්ථන කණ්ඩායම් ද නිලමේවරුන් ද ඇතුළත් වුනා. විශේෂයෙන්ම මහනුවර දළදා මාලිගයේ දෑලේ ඇත් පන්තිය සිහි ගන්වමින් පෙරහැරේ ගමන් කළ තේජානිවිත හස්ති රාජයා පෙරහැරට ගෙන ආවේ අපූර්වත්වයකි.

දෙව්පුර ඇතෙකී...කුඹු දහසයකි..... ආදී ලෙස ගැයෙන ගජගා වන්නමේ නාද මාලාව අනුව මෙම අලංකාරවක් පෙරහැර ක්‍රීඩාංගණය වටා ගමන් කළේ පැමිණ සිටි හාර දහසකට අධික ශ්‍රී ලංකික ප්‍රජාව මෙන්ම ඒ අවස්ථාවට සහභාගී වූ විදේශ සංචාරකයන් ද අමන්දානන්දයට පත් කරමිනි. පෙරහැරේ අංගයන් සඳහා සහභාගී වූ කුඩා දරු දැරියන් මෙන්ම පෙරහැර සංවිධායක කමිටුව තමන්ට හැකි උපරිම දායකත්වය ඒ සඳහා ලබා දී තිබූ බව සටහන් නොකරම බැරිය.

 

පසුව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති, එස්.ජේ.මොහිදීන් මැතිතුමා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මැතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ සහ අනෙකුත් ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංස්කෘතික වැඩ සටහන අබුඩාබිය සිසාරා වෙසක් අසිරිය පතුවන්නට සමත් විය. මෙහි දී විශේෂිත ආරාධිත අමුත්තා ලෙස සහභාගී වනු ලැබූයේ NMC වෙළඳ ජාලයේ වෙළඳ ප්‍රධානී, අනුරාද් කාශ්‍යප් මැතිතුමා සහ මැතිණියයි. බොදු බැති ගී, නර්ථන අංග, නාට්‍ය, භක්ති ගීත වලින් පරිපූර්ණව පැවැති වැඩ සටහන සඳහා ඩුබායි හා සාජා හි සිට පැමිණි ශ්‍රී ලාංකික ප්‍රජාව ද ලබා දුන් දායකත්වය අගය කළ යුතුය. විශේෂයෙන්ම අබුඩාබි මේෂාන් දිසානායක රංගායතනයේ සිසු සිසුවියන්ගේ දායකත්වය සිහිපත් කළ යුතුය.

අඩි 50 ක් පමණ උස වෙසක් තොරණ ද ක්‍රිඩාපිටියේ හතරවට ඉදිකර තිබූ කැරකෙන වෙසක් කූඩු ද ගෙන හැර පෑවේ ලංකාවේ වෙසක් සිරි පිරි පරිසරයකි. ඒ ඒ ආයතන නියෝජනය කරමින් තරුණ කණ්ඩායම් එක්ව සකස් කර තිබූ මෙම වෙසක් කූඩු අලංකාරවත් කැටයමින් නිමාවා තිබුණි.

එසේම පැමිණ සිටි පිරිසට වෙසක් සිරි නරඹන අතරතුර දාහය, කුසගින්න නිවා ගැනීමට සංවිධානය කර තිබූ දන්සල් 24 වටා මී මැසි පොදි මීයට එකතු වන්නාසේ පිරී ඉතිරී ගොස් තිබෙනු දැක ගත හැකි විය.

මේ දිනවල අබුඩාබියේ පවතින අධික උෂ්ණත්වය ද නොසලකා පැමිණි සිටි පිරිසට යුහුසුළුව සැළකීමට දන්සල් හිමිකරුවන් වෙහෙස වූ ආකාරය කාගෙත් ඇගැයීමට ලක්විය. එම දන්සල් අතර බත් දන්සැල්, අයික්‍රීම් දන්සැල්, සවු කැද දන්සැල්, කිරි තේ දන්සැල්, පැණි කොමඩු දන්සැල්, ෆලූඩා දන්සැල්, කඩල දන්සල්, පාන් දන්සැල්, පොල්රොටී දන්සැල් වාගේම වතුර බෝතල් දන්සැල් කිහිපයක් ද විය. මෙම සෑම දන්සැලක්ම අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනමේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබීම පැසසිය යුතුය.

අබුඩාබි කලා කවය හා ශ්‍රී ලංකා සංස්කෘතික පදනම එක්ව අබුඩාබියේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කල චිත්‍ර තරඟයේ ත්‍යාග ප්‍රධානය ද මෙදින ගරු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරක ලදී.

අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම දෙවන වරට අති සාර්ථකව වෙසක් සංස්කෘතික මංගල්‍යය අවසන් කිරීමට හැකිවීම ඒ සදහා මූලික වූ සැමගේ සාමුහික කැපවීම මල්පල ගැන්වීමකි. ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව, කතෝලික ප්‍රජාව, දමිල ප්‍රජාව ලබාදුන් සහයෝගය ද සිහිපත් කළ යුතුය.

EMBPG

අබුඩාබියේ සිට

ජායාරූප - සමීර කංකානම


RECOMMEND POSTS