විරෝධතාකරුවෝ පිටව යති



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය පරිශ්‍රයට කඩා වැදී, දින දෙකක් තිස්සේ එහි රැඳී සිටි විරෝධතාකරුවෝ එතැනින් ඉවත් වූහ.

විරෝධතාකරුවන් ඉවත් වූයේ ඉරාකයේ රජයටත් හමුදාවටත් සහාය දක්වන ෂියා මුස්ලිම් ‘හෂ්ද් අල් ෂාබී’ සන්නද්ධ බලකාය කළ ඉල්ලීමකට කන් දෙමිනි. විරෝධතාකරුවන් ඇමෙරිකන් තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පිටවී ගිය බව ඉරාක රජයේ හමුදාව ද තහවුරු කර තිබේ.

‘හෂ්ද් අල් ෂාබී’ යනු ඉරාන හිතවාදී ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමකි. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී ඉරාක රජයට ‘හෂ්ද් අල් ෂාබී’ සන්නද්ධ කල්ලියේ සහාය හිමිවිය. ඒ අනුව, කලක් පස මිතුරන් වී සිටි ඉරාකයත් ඉරානයත් අතර යහපත් සබඳතා වර්ධනය වූයේ අයි.එස්. ත්‍රස්තවාදීන් දෙරටේ පොදු සතුරා වූ බැවිනි. ඉරානය සහ ඉරාකය අතර යහපත් සබඳතා ඇති වූයේ ඇමෙරිකාවේ දැඩි විරෝධය මතය.

‘හෂ්ද් අල් ෂාබී’ සහාය ලබන ඉරාක විරෝධතාකරුවන් ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදුණේ ඉරානයේ ‘උසි ගැන්වීම’ මත බවත්, ඒ සම්බන්ධයෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබේ.
ඇමෙරිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා ඇත්තේ, තානාපති කාර්යාලයට කඩා වැදී පහරදීමේ සිදුවීමට ඉරානයේ සම්බන්ධයක් නොමැති බවය.

ඉරාකයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ බැග්ඩෑඞ් අගනුවර ‘හරිත කලාපය’නමැති අධි ආරක්ෂිත කලාපයේය. ඇමෙරිකන් තානාපති කාර්යාලය පමණක් නොව, සෙසු විදෙස් තානාපති කාර්යාල ද පිහිටා ඇත්තේ මෙම හරිත කලාපයේය.

හරිත කලාපයේ ආරක්ෂාව ඉරාක රජය සතුව පවතින අතර, පසුගිය 31 වැනිදා විරෝධතාකරුවන් තානාපති කාර්යාලයට කඩා වැදුණු අවස්ථාවේ ඉරාක හමුදා ඔවුන් වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බවට ඇමෙරිකාව චෝදනා කරයි. මීට අමතරව, තම තානාපති කාර්යාලයේ ආරක්ෂාවට මෙරීන් හමුදා සොල්දාදුවන් 100 ක පිරිසක් මේ වනවිට තානාපති කාර්යාලයට එවා ඇතැයි ද පැවැසෙයි.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS