විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ වෙඩි තබයි



ඉරාක අගමැති අබ්දිල් අබ්දුල් මහ්දි ප්‍රමුඛ ඉරාක රජයට එරෙහිව විරෝධතා පවත්වන විරෝධතාකරුවන්ට ඉරාක ආරක්ෂක අංශ වෙඩි තැබූ බවත්, වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වී 22 ක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මියගිය බොහෝ දෙනකුගේ හිසට වෙඩි වැදී තිබුණු බවය. බැග්ඩෑඞ් අගනුවරට අමතරව, තවත් ප්‍රධාන නගර කීපයක ද විරෝධතා පැවැත්වුණු බවත් එම විරෝධතාකරුවන්ට ද පොලිසිය සහ හමුදාව හරස් වුණු බවත් වාර්තා වේ.

ඉරාක අගමැතිවරයා සහ රජයට එරෙහිව විරෝධතා ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් මුලදීය. විරෝධතාකරුන් සහ ආරක්ෂක අංශ අතර පැවැති ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 260 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.

ඉරාක රජයට එරෙහිව මෙසේ ජනතා විරෝධයක් එල්ල වන්නේ, රජයේ දූෂණ වංචා ඉහළ යෑම, රට ආර්ථික අර්බුදයකට ලක් වීම, යටිතල පහසුකම් දුර්වල තත්ත්වයක පැවැතීම ආදී කරුණු රැසක් මුල්කොට ගනිමිනි. විරෝධතා සඳහා එක්වී සිටින්නේ ඉරාක තරුණ කොටස්ය. මේ වනවිට විරෝධතාවලට සහභාගී වී, කලහකාරී අයුරින් හැසිරුණු දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS