මෝදි ඊශ්‍රායලයේ



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයට පැමිණියේය.

ඉන්දීය අගමැතිවරයා ඉතා හරසරින් පිළිගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කටයුතු කළේය.

මීට පෙර ඉන්දීය අගමැතිවරයකු ඊශ්‍රායලයට පැමිණ නොමැති අතර ඊශ්‍රායල සංචාරයක යෙදෙන පළමු ඉන්දීය අගමැතිවරයා නරේන්ද්‍ර මෝදිය.

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර වසර 25 ක් තිස්සේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වෙයි. මෝදිගේ මෙම සංචාරයේ දී එම සබඳතා තවක් ශක්තිමත් වනු ඇතැයි දේශාපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

‘මෙය ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේමයි බොහොම වැදගත් අවස්ථාවක්’ යැයි ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති නෙදන්යාහු පැවැසීය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවීමෙන් පසු ද්වී පාර්ශ්වීය සාකච්ඡා ශක්තිමත් කර ගැනීමට අගමැති මෝදි සාකච්ඡා පැවැත්වීය. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ඇමැතිනී සුෂ්මා ස්වර්ජ් ද මෙම සංචාරයට එක් ව සිටින්නීය.

ඉන්දියාව ඊශ්‍රායලයෙන් යුදෝපාකරණ මිලදී ගැනීමට සූදානම් වෙයි. එපමණක් නොව, ඊශ්‍රායලයේ සහාය ඇතිව ඩ්‍රෝන යානා සහ මිසයිල ඉන්දියාවේ නිපදවීමට ද ඉන්දීය රජය සූදානම් වන බව වාර්තා වේ.

මෝදිගේ මෙම ඊශ්‍රායල සංචාරය සම්බන්ධයෙන් පලස්තීන ප්‍රජාවේ කනස්සල්ල පළ වී ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් ඊශ්‍රායලයට යෑමට පෙර මෝදි පලස්තීනුවන්ට සහතික වී ඇත්තේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය වෙනස් නොකරන බවය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS