බියගුලු ප්‍රහාරවලින් ඉරානය වට්ටන්න බෑ



තෙහෙරාන් අගනුවරට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සයේඞ් අල් කොමේනී කියා සිටියේ බියගුලු ප්‍රහාරවලින් ඉරානය අඩපණ කළ නොහැකි බවය.

‘ඉරානය දිගටම ඉදිරියට යනවා. ත්‍රස්ත ප්‍රහාර හමුවේ සැලෙන්නේ නැහැ. සිදුවුණු ප්‍රහාරවලින් ජන ජීවිතය අඩාල වෙන්න  දෙන්නේ නැහැ. ඉරාන වැසියන් බිය ගන්වන්න මෙවැනි ප්‍රහාරවලට හැකියාවන් නැහැ.’ ඉරාන උත්තරීතර නායකයා මේ බව කියා සිටියේ තෙහෙරාන් විශ්ව විද්‍යාලයේ සිට විද්වත් පිරිසක් අමතමිනි.

ඉරාන නායකයා වන්නේ අයතුල්ලා සයේඞ් අල් කොමේනීය.  ඊයේ දිනයේඑක් ප්‍රහාරයක් එල්ල වූයේ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ සොහොන් ගැබටය. 1979 වසරේ ඉරාන විප්ලවය මෙහෙයවූයේ රුහොල්ලා කොමේනිය.

එම විල්පවයෙන් පසු ඉරානයට උත්තරීතර නායකයෙක් සිටී. අද එම ධුරය හොබවන්නේ අයතුල්ලා සයේඞ් අල් කොමේනීය. ඉරානයේ ජනාධිපතිවරයා හසන් රොව්හානිය.

මීට සති කිහිපයකට පෙර පැවැත්වුණු ඉරාන ජනාධිපතිවරණයෙන් හසන් රොව්හානි යළි විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. රොව්හානි ජනපති ධුරය හෙබවවුත් ඔහු ද උත්තරීතර නායකයාට අනුව කටයුතු කරයි.

විශ්ව විද්‍යාල විද්වතුන් හමුවේ අයතුල්ලා සයේඞ් අල් කොමේනී වැඩි දුරටත් පැහැදිලි කළේ කලාපීය ‘ත්‍රස්තවාදය’ පිටුදැකීමට ඉරානය මැදිහත් වී කටයුතු කිරීම නිසා ඉරානයට මෙම ප්‍රහාරය එල්ලවුණු බවය.

ඉරාන ආරක්ෂක අංශ සහ ජිහාද්වරුන් අතරේ පසුගිය කාලවකවානුව පුරාවට ගැටුම් සිදුවිය. ඉරාන ඉරාක දේශසීමාවේත්, ඉරාන ඇෆ්ගන් දේශසීමාවේත් මේ අයුරින් සුන්නි ත්‍රස්තවාදීන් සහ ෂියා මුස්ලිම් ඉරාන ආරක්ෂක අංශ අතරේ දරුණු අවි ගැටුම් සිදුවිය.

සිරියානු අර්බුදයේ දී, බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයට ඉරානයේ සහාය නොඅඩුව ලැබෙයි. සුන්නි මුස්ලිම් අයි.එස්. ත්‍රස්තවාදීන් සහ ඉරාන හමුදාව සිරියාවේ ද අවි ගැටුම්වල පැටැළී සිටී. කෙසේ නමුත් මේවනතෙක් ඉරානයේ බෝම්බ පිපිරීම් හෝ අවි ගැටුම් හෝ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා හෝ කිසිවක් සිදු නොවිණි.

අයි.එස්. ත්‍රස්තවාදීන් ෂියා මුස්ලිම් ඉරානය සලකන්නේ ඔවුන්ගේ පරම සතුරකු ලෙසිනි. මිත්‍යා දෘෂ්ඨික, යක්ෂයන් අදහස පිරිසක් ලෙසින් සුන්නි මුස්ලිම් අන්තවාදීන් ෂියා මුස්ලිම් ඉරානය සළකයි. බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු නායක බෂීර් අල් අසාද්ගේ රජයට ඉරානය සහාය දක්වනවා පමණක් නොව, ඉරාක රජයේ හමුදාවට ද ඉරානයේ සහාය හිමිවිය. ඒ අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පිහිටුවනු ලැබූ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිවය.

මේ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන්ට ඉරාකයේ බලය අහිමි වෙමින් පවතී. මොසූල් සහ රක්කා වැනි ඉරාක නගර අයි.එස්. ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමට ඉරාක හමුදාවෝ සමත්ව සිටිති. ඒ සඳහා ඉරානයේ ද සහාය හිමිවී ඇතැයි රහසක් නොවෙයි. සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ බලය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතී. එහෙයින්, දැන් අයි.එස්. ත්‍රස්තයන් අසල්වැසි රටවල් ඉලක්ක කර ගෙන සිටී.

පසුගිය මාර්තුවේ අයි.එස්. ත්‍රස්තවාදීන් වීඩියෝවක් ප්‍රසිද්ධ කළේය. ඒ, ඔවුන්ට හිතවත් වෙබ් අඩවි යොදා ගනිමිනි. එම වීඩියෝව ඉරානයට අනතුරු ඇඟවීමක් විය. වීඩියෝව පර්සියානු බසින් නිකුත් කළ එකක් විය. අතීතයේ පර්සියාව වූයේ ද වර්තමාන ඉරානයයි. තමන් ඉරානය ආක්‍රමණය කරන බවත්, අතීතයේ මෙන් සුන්නි මුස්ලිම් රාජ්‍යයක් බවට ඉරානය පත් කරන බවත් වීඩියෝවේ සඳහන් වී තිබුණි.

අයි.එස්. ප්‍රහාර ඉරානයට ආගන්තුක වුවත්, අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ‘ජයිෂ් උල් අඞ්ල්’ (යුක්තියේ හමුදාව) ත්‍රස්තවාදීහු ඉරාන දේශසීමා ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති. ඉරාන පාකිස්තාන දේශසීමාවේ සිසිටන් බලුකිස්තාන් ප්‍රාන්තයේ ද ඉරානයට ද්වේශ කරන සුන්නි සටන්කාමීහු ක්‍රියාත්මක වෙති.

ඉකුත් සති අන්තයේ ලන්ඩනයට එල්ල වුණු අයි.එස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක අල් කොමේනී දොස් පැවැරුවේ බටහිරටය. මැදපෙරදිග සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිපත්ති පාරාවළල්ලක් වුණැයි ඉරාන උත්තරීතර නායකයා එම අවස්ථාවේදී කියා සිටියේය. ‘බටහිර රටවල් ඇවිලූ ගින්න අද ගිනි ජාලාවක් විදියට ඔවුන් වෙළාගෙන’ යැයි උත්තරීතර නායක අල් කොමේනී අවධාරණය කර ඇත.

 (ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS