බටහිර ඉවුරේ ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කෙරේ



නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමත් සමඟ ‘ලොක්ඩවුන්’ සීමා තවත් දින පහකට දීර්ඝ කිරීමට පලස්තීන පාලනාධිකාරිය පියවර ගත්තේ ය.

පසුගිය සිකුරාදා ආරම්භ වූ ලොක්ඩවුන් සීමා ඉරිදා සන්ධ්‍යාවරැව දක්වා ක්‍රියාත්මක බව පලස්තීන ආණ්ඩුවේ ප්‍රකාශක ඊබ්‍රහිම් මෙල්හම් පැවැසීය.

බටහිර ඉවුරෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,570ක් වන අතර එම ප්‍රදේශයෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 17කි.

මීට සතියකට පෙර බටහිර ඉවුරෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,356ක් වූ අතර වාර්තා වූ මරණ ගණන 5ක් විය.

බටහිර ඉවුරෙන් මුල් වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය මාර්තු මාසයේදී ය. පලස්තීන පාලනාධිකාරිය මාර්තු මස මුලදී බටහිර ඉවුර සම්පූර්ණයෙන් වසා දැමූ අතර එම ලොක්ඩවුන් සීමා මැයි මස අගදී ලිහිල් කළේය.

බටහිර ඉවුරේ වෙසෙන දස දහස් ගණනක් පලස්තීන වැසියෝ දිනපතා ඊශ්‍රායලයට ගමන් කරති. රැකියා සඳහා එලෙස ඔවුන්ගෙන් යන බොහෝදෙනා කම්කරුවෝ ය.

නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවෙමින් තිබෙන බැවින් ඊශ්‍රායලයට පිවිසෙන ස්ථාන වසා දමන්නැයි ද පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්තායේහ් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළේය.

ඊශ්‍රායලයෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 31,270ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 330කි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS