පැරැණි සොහොන් හමුවෙලා



රෝම යුගයට අයත් වසර 2000කට වඩා පැරැණි සොහොන් කිහිපයක් පලස්තීනයේ බටහිර ඉවුරේ හෙබ්‍රෝන් නගරය ආසන්නයෙන් හමු වී තිබේ.

මාර්ගයක කැණීම් කෙරෙන අවස්ථාවකදී මෙම ඉපැරැණි සොහොන් හමු වී ඇතැයි බලධාරිහු කීහ.

මෙම සොහොන ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසට අයත් යැයි පැවසෙන අතර මෙම කලාපය රෝම පාලනයට නතු වූ සමයේදී ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. සොහොන් හමු වී ඇත්තේ දකුණු දිග බටහිර ඉවුරේ ඉද්නා නැමැති ගම්මානයෙනි.

කඳුකර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ මාර්ග කටයුතුවලදී මෙම සොයාගැනීම සිදු කර ඇතැයි හෙබ්‍රෝන් හි සංචාරක හා පුරාවස්තු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තලීබ් ජුබ්රාන් පැවැසීය.

අස්ථි කොටස්, වළං භාණ්ඩ ආදිය ද සමඟ සොහොන් 32ක් හමු වූ බවත් මෙම සොහොන් මීට පෙර අවස්ථාවකදී නිල වශයෙන් සොයාගෙන තිබූ බවත් එම අවස්ථාවේදී එහි තිබූ දෑ සොරකමට ලක්වී ඇති බවත් හෙතෙම කීය.

“මේ සොයාගැනීම අපට ඉතා වැදගත්. මෙය ආරක්ෂා කළ යුතු” යැයි ද ඔහු කීවේය. ඇතැම් සොහොන් මීටර 50ක පමණ අවකාශයක විහිද තිබූ බව ද පැවසේ.

මෙම සොයාගැනීම් නිසා එම ප්‍රදේශයට එන සංචාරකයන්ගේ වැඩි වීමක් වනු ඇතැයි ද බලධාරිහු බලාපොරොත්තු වෙති.
ඊශ්‍රායල හා පලස්තීන භූමි සමස්ථයක් ලෙස ගත්විය රෝම යුගයට අයත් පුරාවස්තු ඇතුළු බොහෝ දේ සොයාගත හැකි යැයි ද පැවසේ.

හර්ෂණ තුෂාර සිල්වා

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS