ප්‍රංශ භාණ්ඩ මිලදී ගන්න එපා



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට විරෝධය පළ කිරීමක් ලෙස ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් තුර්කි වැසියන්ගෙන් පමණක් නොව කලාපීය මුස්ලිම් රටවල වැසියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

තුර්කි ජනාධිපතිවරයා එරට වැසියන්ට ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන්නැයි පැවැසුවේ, තුර්කි භාණ්ඩ වර්ජනය කරන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රංශ වැසියන්ට පැවැසීම හේතුවෙනි.

තුර්කි ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දෙමින් මේ වනවිටත්, ජෝර්දානෙයේ, කටාර් රාජ්‍යයේ සහ කුවේට් රාජ්‍යයේ ප්‍රංශ නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් උදා වී ඇති බව මැදපෙරදිග පුවත් සේවා සඳහන් කර තිබේ.

තුර්කිය සහ ප්‍රංශය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, ප්‍රංශයේ වාසය කරන මුස්ලිම්වරුන්ට දිගින් දිගටම කෙණෙහිලිකම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය කටයුතු කරනවා යැයි තුර්කි ජනාධිපති රජෙප් තායිප් එර්දොවාන් චෝදනා කිරීමත් සමඟය.

ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම්වරුන් සියලු දෙනා ත්‍රස්තවාදීන් සේ සලකා ඔවුන් මර්දනය කිරීමට පියවර ගන්නවා ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මානසික තත්ත්වය පරීක්ෂා කළ යුතු යැයි තුර්කි ජනාධිපති පවසා ඇත. තුර්කි ජනාධිපති එර්දොවාන් කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන්, ප්‍රංශ ජනපති මැක්රොන්, ප්‍රංශයේ පැරිස් අගනුවර තුර්කි තානාපති කැඳවා ප්‍රශ්න කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය. මෙය ප්‍රංශ ජනපතිගේ දැඩි විරෝධයට හේතුවක් විය. ප්‍රංශය සහ තුර්කිය නේටෝ සාමාජික රටවල්ය.

ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාවට කෙණෙහිලිකම් එල්ල වීම ආරම්භ වූයේ මීට දින කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කළ 43 හැවිරිදි සැමුවෙල් පැටී නමැති ප්‍රංශ ගුරුවරයා ඉස්ලාම් අන්තවාදී තරුණයකු අතින් ඝාතනය වීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.

ගුරුවරයා ප්‍රංශයේ පළ වන චාලි හෙබ්බෝ නමැති සඟරාව උදාහරණයට ගනිමින් පාසල් සිසුන් දැනුවත් කර ඇති අතර, නබිනායකතුමාට අපහාස වන කාටූන් චාලි හෙබ්බෝ සඟරාවේ පළ වී තිබුණි. සැමුවෙල් පැටී, මරා දැමුණේ පාසල ඉදිරිපිටදීය. ඔහුගේ ගෙල සිඳ දැමූ මුස්ලිම් අන්තවාදී තරුණයා පොලිස් වෙඩි පහරින් පසුව මියගියේය. එම තරුණයා රුසියාවේ සිට සරණාගතයකු ලෙස ප්‍රංශයට පැමිණ පුරවැසිභාවය හිමිවුණු චෙච්නියානු මුස්ලිම් වැසියෙකි.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS