පහර දුන්නේ ඉරානයම තමයි



සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගමට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර පිටුපස සිටින්නේ ඉරානය යැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳුඳා (16) නැවත වරක් අවධාරණය කළේය.

සිය ප්‍රකාශය තහවුරු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය චන්ද්‍රිකා ඡායාරූප ද නිකුත් කළ අතර බුද්ධි තොරතුරු ද ඉදිරිපත් කළේය.

ලොව විශාලතම තෙල් නිෂ්පාදන සහ සැකැසුම් සමාගම වන ඇරැම්කෝ සමාගමට සෙනසුරාදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවෝ ප්‍රකාශ කළහ. ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වුවත් ඉරානය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.

ප්‍රහාරය එල්ල කළ දුර සහ ප්‍රහාරයේ ස්වභාවය අනුව එය හූති කැරැලිකරුවන් කරන ලද්දක් නොවන බව ඇමෙරිකානු සහ ජාත්‍යන්තර මාධ්‍යවලට අදහස් දැක්වූ නම සඳහන් නොකළ ඇමෙරිකානු බලධාරීහු සඳහන් කළහ.

මෙම සිදුවීම නිසා ගෝලීය තෙල් සැපයුම සියයට 5කින් අඩු වී අතර තෙල් මිල ගණන් ද ඉහළ ගියේය.
ප්‍රහාරය එල්ල කළේ ඉරානය යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ චෝදනා කළ නමුත් ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේ නැත. ඇමෙරිකාව ලෝකය රටවන බව ඊට චෝදනා කරමින් ඉරානය ප්‍රකාශ කළේය.

එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට චෝදනා නොකළ නමුත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි දැනගත් විගස හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS