නෙදන්යාහුට චෝදනා



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට එරෙහිව අල්ලස් චෝදනා ගොනු කළ යුතු යැයි එරට පොලිසිය නිර්දේශ කර තිබේ.

සිදුවීම් දෙකකට අදාළව අගමැතිවරයා විශ්වාසය කඩ කර ඇතැයි ද ඔහුට එරෙහිව චෝදනා ගොනු කළ හැකි යැයි ද ඊශ්‍රායල පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එල්ල වී තිබෙන චෝදනාවලට කිසිදු පදනමක් නැතැයි ද තමන් අඛණ්ඩව අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන්නේ යැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

වෙනත් පුවත්පතක් පාලනය කිරීමට ප්‍රතිඋපකාරයක් ලෙස ‘යීදිත් ආරෝනොත්’ පුවත්පතේ තමන් සම්බන්ධයෙන් ධනාත්මක ආවරණයක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා තිබීම පළමු සිදුවීම යැයි ද දෙවැනි සිදුවීම 2009 වසරේ සිට අගමැතිධුරය හොබවන බෙන්ජමින් නෙදන්යාහු එම කාලයේදී ඩොලර් මිලියන ගණන් වටිනා ත්‍යාග ලබාගෙන ඇතැයි යන්න දෙවැනි චෝදනාවයි. හොලිවුඩයේ දැවැන්තයකු වන ඊශ්‍රායල බිලියනපති ආරනන් මිල්චන්ගෙන් සහ ඔහුගේ ආධාරකරුවන්ගෙන් පමණක් ඊශ්‍රායල අගමැතිවරයා ලබාගෙන ඇති ත්‍යාගවල වටිනාකම ඩොලර් 283,000ක් යැයි ද එරට පොලිසිය සඳහන් කරයි.

මෙම ප්‍රධාන චෝදනා දෙකට අමතරව අගමැතිවරයාට එරෙහිව තවත් චෝදනා රැසක් තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි. ඕස්ටේ්‍රලියානු බිලියනපතියකු වන ජේම්ස් පැකර් සම්බන්ධ සිදුවීමකදී විශ්වාසය කඩ කර ඇතැයි පොලිසිය කියයි. පැකර් ඊශ්‍රායල අගමැතිවරයට සහ ඔහුගේ බිරිඳට ත්‍යාග ලබාදුන් බව පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා විය.

විමර්ශන නිලධාරීන් අගමැති බෙන්ජමින් නෙදන්යාහුගෙන් මේ සම්බන්ධයෙන් අවස්ථාව හතකදී ප්‍රශ්න කර ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි. නෙදන්යාහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ එරට නීතිපති කාර්යාලයයි. ඊට මාස ගණනක් ගතවනු ඇතැයි වාර්තා වේ. චෝදනා එල්ල වුවද කිසිදු අග්‍රාමාත්‍යවරයකු ධුරයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නැතැයි එරට අධිකරණ අමාත්‍ය අයලෙත් ෂේක්ඞ් පැවැසීය.

මේ අතර තමාගේ නායකත්වයෙන් යුතු සන්ධාන ආණ්ඩුව ස්ථාවර බවත් පොලිස් නිර්දේශ තිබුණත් ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යන බවත් අගමැති බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය. “මා ඔබට නියත වශයෙන්ම කිව යුතුයි. කිසිවකත් මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර නැහැ. මෙම ධුර කාලය අවසන් වනතුරු අපි ඊශ්‍රායල ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා” යැයි හෙතෙම කීය.

හර්ෂණ තුෂාර සිල්වා

(ඒ.එෆ්.පී/රොයිටර්)

 


RECOMMEND POSTS