තෙල් නිධි ආරක්ෂාවට ඇමෙරිකන් හමුදාව



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව, නැගෙනහිර සිරියාවේ තෙල් නිධි ආරක්ෂාවට ඇමෙරිකන් හමුදා යවන බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනය කියයි.

නැගෙනහිර පිහිටි සිරියානු තෙල් නිධිවලට ආරක්ෂාව ලබා දෙන්නේ, කුර්දිවරුන්ගේ නායකත්වයෙන් යුත්, සිරියානු ප්‍රජාතන්තවාදී හමුදාව යන නමින් නම් කළ සන්නද්ධ කණ්ඩායමය. ඇමෙරිකන් හමුදා යැවෙන්නේ මෙම කණ්ඩායමට සහාය දැක්වීමටය.

තෙල් නිධි ආරක්ෂා කිරීමට සිදුවී ඇත්තේ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙනි. සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට හැකිවී ඇති නමුත් ඔවුන් සම්පූර්ණයෙන් පරාජය වී නැත. තෙල් නිධිවලට ආරක්ෂාව ලබා දීමට සිදුවී ඇත්තේ එහෙයිනි.
සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ කුර්දිවරුන් සහ කුර්දිවරුන් නියෝජනය කරන සටන්කාමීන්ටය.

මීට පෙර ඇමෙරිකන් හමුදා රඳවනු ලැබ සිටියේ උතුරුදිග සිරියාවේ පළාත්වලය. ඒ, කුර්දිවරුන්ට සහාය දක්වමිනි.

අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමෙන් පසු එම සොල්දාදුවන්ගෙන් කොටසක් ඉරාකයට යැවීමටත්, ඉතිරි කොටස කුර්දිවරුන්ගේ සහායට උතුරුදිග සිරියාවේ රැඳවීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS