තුර්කි ජනාධිපතිවරයාගෙන් චෝදනා



ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුර්කියට සැලකුවේ සීමාකාරී ස්වරූපයකින් යැයි එරට ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් ඊයේ (1) පැවැසීය.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුර්කියට සැලකූ ආකාරය දේශපාලන ස්වරූපයක් ගත්තේ යැයි ද හෙතෙම චෝදනා කළේය.

කෙසේනමුත් තුර්කි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තරයක් සඳහන් නොකළේය.

ගමන් කිරීමට සහ සිය රටවලට පැමිණීමට අවසර දෙන ලැයිස්තුවක් යුරෝපා සංගමය අඟහරුවාදා ප්‍රසිද්ධියට පත් කළේය. නව කොරෝනා වයිරසය මුල් කරගනිමින් යුරෝපා සංගමය එය සකසා තිබූ අතර වයිරස ආසාදිතයන් වැඩි සහ වැඩි වෙමින් තිබෙන රටවල් මෙන්ම තවත් රටවල් රැසක් ඊට ඇතුළත් කර නොතිබිණි.

තුර්කිය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව, චීනය යන රටවල් ඇතුළු රටවල් රැසක් ඊට ඇතුළත්ව නොතිබිණි.

එම නව ලැයිස්තුවට අනුව අදාළ රටවල් සමඟ යුරෝපා සංගමය බදාදා සිට අත්‍යවශ්‍ය නොවන සංචාරක කටයුතු ආරම්භ කරනු ඇත.

හර්ෂණ තුෂාර
රොයිටර් ඇසුරිනි

RECOMMEND POSTS