ත්‍රස්තවාදය පිටුදකින්න ආකල්ප වෙනස් කළ යුතුයි



අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, කටාරයේ සංකීර්ණ මෙන්ම සියුම් ප්‍රතිපත්තිය වන්නේ සමාජීය ආකල්ප වෙනස්කරමින්, මුල් බැසගත් අදහස් බැහැර කිරීමට කටයුතු සලස්වා අන්තවාදය සහ ත්‍රස්තවාදය පිටුදැකීම යැයි කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පෙන්වා දෙයි.

ත්‍රස්තවාදයට එරෙහි සටන ආරක්ෂාවට පමණක් ප්‍රමුඛත්වය දී කළ නොහැකි බවත්, එය කළ යුත්තේ ආර්ථික සහ සමාජීය කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් යැයි කටාර් විදේශ කටයුතු ඇමැතිවරයා වැඩි දුරටත් පැහැදිලි කරයි.

කටාර් එම්රී ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී මෙන්ම විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී ද මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරය.

කටාර් එමීර්වරයා පමණක් නොව, විදේශ කටයුතු ඇමැතිවරයා ද නිව්යෝක් නුවරට ගොස් සිටින්නේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමේ අරමුණින්ය. ඊට අමතරව කටාර් රජය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් ද නිව්යෝක් පැමිණ සිටිති.

කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී, ත්‍රස්තවාදය සහ අන්තවාදය සම්බන්ධයෙන් මෙන්ම කටාර් රාජ්‍යය ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීමක් කළේ ‘ටියුනිස් 2020’ නමැති ආර්ථික සහ ආයෝජන ජාත්‍යන්තර සමුළුවට එක් වී එම සමුළුව ඇමැතූ අවස්ථාවේදීය. ‘ටියුනිස් 2020’ සමුළුව පැවැත්වෙන්නේ ද ජගත් මහ සමුළුවට සමගාමීවය.

(ද පෙනින්සියුලා ඇසුරිනි)


RECOMMEND POSTS