ඩමැස්කස් අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර ප්‍රධාන අධිකරණ සංකීර්ණයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 100 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරුණි.

බෝම්බකරු අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමට තැත් කරද්දී, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට ඔහු ගැන සැක සිතා සෝදිසි කිරීමට සූදානම් වී ඇත.

බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇත්තේ එම අවස්ථාවේදීය. ඒ වනවිට බොහෝ පිරිසක් අධිකරණ සංකීර්ණයට පිවිසෙමින් සිටි බව වාර්තා වේ.

මෙම බෝම්බ පිපිරීම සිදුවූයේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහි කැරැල්ල ආරම්භ වී වසර 6 ක් ගතවී ඇති අවස්ථාවකදී යැයි සිරියානු මාධ්‍ය වාර්තා කරයි.

එදා සිට මේ දක්වා සිරියාවේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 3,20,000 ක පිරිසක් මියගොස් සිටින බව ද වාර්තා වේ. ගැටුම් හේතුවෙන් අවතැන් වුණු ගණන මිලියන 11 කි.

(රොයිටර්)


RECOMMEND POSTS