ට්‍රම්ප්ගේ වැරදි නිවැරදි කරන්න



ධුරය අහිමි වූ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය සම්බන්ධයෙන් කළ ‘වැරදි’ නිවැරදි කරන්නැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගෙන් ඉල්ලා ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සිය අභිමතය පරිදි කටයුතු කරමින්, ඉරාන න්‍යෂ්ටික එකඟතා ගිවිසුමෙන්, ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ට්‍රම්ප් එසේ කළේ ඊශ්‍රායලයේ කීමට කන් දෙමිනි. ඉරානය මේ වනවිට කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලෙන් ද පීඩාවට පත් වී සිටින්නේ, ජනපති ට්‍රම්ප් පැනැවූ සම්බාධක හේතුවෙනි.

ජෝ බයිඩන්, ඇමෙරිකා උප ජනාධිපති ධුරය දැරුවේ, බැරැක් ඔබාමා ජනපති ධුරය හොබවද්දීය. ඔබාමා මැදිහත් වී, ආන්දෝලනයකට තුඩුදුන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සාමකාමී විසඳුමක් සොයා දුන්නේය. ඒ, දීර්ග වශයෙන් පැවැත්වූ සාකච්ඡා අනුවය. ඉරානය තරයේ කියා සිටින්නේ, ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇත්තේ රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමටය. ඉරානයට සහාය දක්වන්නේ රුසියාව සහ චීනයයි.‍

කෙසේ නමුත් ඊශ්‍රායාලය චෝදනා කරන්නේ ඉරානය, රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවටය. ඊශ්‍රායලය එසේ චෝසනා කරද්දී පවා, ඔබාමා පරිපාලනය ඊට කන් නොදී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පවත්වා ඒ සම්බන්ධයෙන් සාම වැඩපිළිවෙළක් සහ ගිවිසුමක් ඇති කර ගත්තේය.

2015 දී එම ගිවිසුම ඇති කර ගැණුනේ, ඇමෙරිකාව, ඉරානය, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනියත්, යුරෝපා සංගමයත් එකමුතුවෙනි. න්‍යෂ්ටික ගිවිසුම අනුව, ඉරානයට එතෙක් පනවා තිබුණු සියලු සම්බාධක ඉවත් කිරීමට ඔබාමා පරිපාලනය කටයුතු කළ අතර, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කළේය. විදේශ නියෝජිතයන්ට එම වැඩසටහන අධීක්ෂණයට අවසර දුන්නේය.

කෙසේ නමුත් 2016 දී ට්‍රම්ප් බලයට පත් වූයේ ඊශ්‍රායලයට සහාය දක්වමින්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට විරෝධය දක්වමිනි. ඒ අනුව, ඇමෙරිකාව එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කර, 2015 ට පෙර ඉරානයට පනවා තිබුණු සියලු සම්බාධක යළි පැනැවීමට ද ට්‍රම්ප් කටයුතු කළේය.

ට්‍රම්ප්ගේ මෙම තීරණයට ඉරානයෙන් පමණක් නොව, ලොව රටවල් රැසකින් විරෝධයක් එල්ල විය. ට්‍රම්ප්, ඇමෙරිකාව එම න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉවත් කර ගත්තත්, සෙසු රටවල් දිගටම එම ගිවිසුමට සහාය දක්වමින් ඉරානය සමඟ රැදී සිටී.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS