ට්‍රම්ප් යන්නේ වැරදි පාරක



ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය ඉරාන ඇමෙරිකා සබඳතා තව තවත් අවුල් කිරීමට  හේතුවක් වනු ඇති බවත් ට්‍රම්ප් ඉරානය දකින්නේ ‘සතුරකු’ ලෙස බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී කියයි.

හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු සහ පසුව ඇමෙරිකන් ජනපති ධුරයට පත් වුණු රොනල්ඞ් රේගන් පවා ඉරානය සම්බන්ධයෙන් කටයුතු කළේ ට්‍රම්ප් කටයුතු කරන ආකාරයට වඩා බුද්ධිමත්ව යැයි ඉරාන උත්තරීතර නායකයා වැඩි දුරටත් කියා සිටී.

රේගන් ද ට්‍රම්ප් මෙන්ම ඉරාන විරෝධියෙකු විය. කෙසේ නමුත් ඔහු ඉරානයට චෝදනා කළේ හේතු සාධක සහිතවය. එපමණක් නොව, රේගන් ජනපති ධුරයේ සිටිද්දී ඇමෙරිකාව ඉරානයට සැබැවින්ම තර්ජනයක් විය.

1988 වසරේ දී, රේගන් බලයේ සිටිද්දී, ගල්ෆ් මුහුදු සීමාවට පිවිසි ඇමෙරිකන් යුද නැව් ඉරාන මගී ගුවන් යානාවකට පහර දී විනාශ කළේය. එයින් මියගිය ගණන 290 කි. වොෂින්ටනය පැවැසුවේ එය අත්වැරැදීමක් කියාය. ඇමෙරිකා රජය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් යැයි ඉරානය චෝදනා කළේය.

‘රේගන් අද නැහැ. ඔහු කළ අපරාධ වෙනුවෙන් ඔහුට දෙවියන් ඉදිරියේ තීන්දුවක් ලැබේවි. අද ඉරානය එදාය වඩා ශක්තිමත්. ඇමෙරිකා ජනපති ඉරානයට දිගටම චෝදනා කරනවා. පදනම් විරහිතව චෝදනා කරනවා. ට්‍රම්ප් යන්නේ වැරැදි පාරක.’ යැයි කොමේනි කියයි.
ජොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ ඉරානය මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය පතුරුවනවා යැයි චෝදනා කරමිනි. ඒ අනුව, ඔබාමා පරිපාලන සමයේ දී ඇමෙරිකාව විසින් ලිහිල් කළ සම්බාධක යළි පැනැවීමට ද ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS