ගෞතලාමා තානාපති කාර්යාලය ජෙරුසලමට



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය අනුමත කරමින්, ඊට සහාය පළ කරමින් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ගෞතමාලාව ඔවුන්ගේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරනවා යැයි ඊයේ (25) නිවේදනය කළේය.

විදෙස් රටවල තානාපති කාර්යාල ඇත්තේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරය. ට්‍රම්ප් ද ටෙල් අවීව් ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

ගෞතමාලාව ද එසේ කරන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට සහාය පළ කිරීමක් ලෙසය.

ගෞතමාලා රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ජිමී මොරාලේස්ට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ස්තුතිය පුද කර ඇතැයි ද පැවැසෙයි.

ජෙරුසලම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ එය ඊශ්‍රායලය පමණක් නොව පලස්තීනය ද අගනුවර ලෙස සැලකීම නිසාය. ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් ඉකුත් 21 දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වී ඡන්ද විමසුමක් පැවැත්වීය.

එහිදී ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය දක්වමින්, සාමාජික රටවල් 128 ක් ඡන්දය දුන්නේය. ඒ අනුව, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ගත් තීරණය අහෝසි කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපති ට්‍රම්ප්ට සහ ඇමෙරිකාවට බලපෑම් එල්ල විය.

ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය දක්වමින්, ඡන්දය දුන් රටවල් අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිනකයන් තිදෙනකු වන මහා මහා බ්‍රිතාන්‍යය, රුසියාව සහ චීනය ද සිටී.

ට්‍රම්ප්ගේ තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ඇමෙරිකාව, ඊශ්‍රායලය ඇතුළු රටවල් නවයකි. සෙසු රටවල් වන්නේ ගෞතමාලා, හොන්ඩුරාස්, මාර්ෂල් දූපත්, මයික්‍රෝනේසියා, නවුරු, පලාලු සහ ටෝගෝ යන රටවල්ය. රටවල් 35 ක සාමාජිකයෝ ඡන්දය ලබා දීමෙන් වැළැකී සිටියහ.

තමන්ට පක්ෂව ඡන්දය දෙන රටවල් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන් ගැන සොයා බැලීමටත් වැඩිවැඩියෙන් ඔවුන්ට ආධාර ලබා දීමටත් කටයුතු කරන බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පවසා ඇත. එමෙන්ම, තමන්ට එරෙහිවන රටවලට ලබා දෙන ආධාර නැවැත්වීමට පියවර ගන්නවා යැයි ද ජනපති ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS