ගිලන් වූ ලාංකිකයා ආපසු එවයි



මාස දෙකකට අධික කාලයක්, රෝගාතුර වී සිහිසුන් තත්ත්වයක පසුවුණු ඇන්ඩෘ රොහාන් නමැති ශ්‍රී ලාංකික තරුණයා විශේෂ පෞද්ගලික ජෙට් යානයකින්, ආපසු ශ්‍රී ලංකාවට එවීමට, ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගම පියවර ගෙන තිබේ.

ඇන්ඩෘ රොහාන් රෝගී වී, සිහිසුන් තත්ත්වයකට පත් වූයේ මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් යැයි සිදුවීම වාර්තා කරමින් සෞදි මාධ්‍ය පවසා තිබේ.

ඇන්ඩෘ රොහාන් කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු සේවය කළේ සෞදියේ පිහිටි ව්‍යාපාරික අයිඩ්‍රිස් මුස්තාපා ට අයත් ගල්ෆ් වෙස්ට් සමාගමේය.

රාජකාරි වේලාවේ දී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබු අතර රොහාන් ගේ පවුලේ ඥාතින් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම අනුව ඔහුව යළි ශ්‍රී ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් සිදු කරනු ලැබීම විශේෂත්වයකි.

පෞද්ගලික ජෙට් යානයේ ආධාරයෙන්, රෝගී වූ ශ්‍රී ලාංකික සේවකයා යළි මව්රට බලා එවීමට ගල්ෆ් වෙස්ට් සමාගම රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරා ඇති බව ද වාර්තා වේ.  ඇන්ඩෘ රොහාන් රැගෙන එන ගමනට සෞදි වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද ඇතුලත් වීම විශේෂත්වයකි.

ඇන්ඩෘ රොහාන් රැගත් පෞද්ගලික ජෙට් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බවත්, නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇන්ඩෘ රොහාන් ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙමින් පවතින බවත්, ඔහුට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි තමන්ට විශ්වාස කළ හැකි බවත් ය.

ඇන්ඩෘ රොහාන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන්, ගල්ෆ් වෙස්ට් සමාගමේ අධිපති අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩෘ රොහාන්ගේ පවුලේ සාමාජිකයන් කෘතඥතාවය පළ කර ඇතැයි ද පැවැසෙයි.

සෞදි පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS