ගල්ෆ් අර්බුදය විසඳන්න සාකච්ඡා



එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වයට ගරු කරමින්, කටාර් රාජ්‍යය සහ සෙසු මැදපෙරදිග රටවල් අතර නිර්මාණය වී ඔඩුදුවා ඇති අර්බුදය කඩිනමින් විසඳීමට මැදිහත් වී කටයුතු කරනවා යැයි ඇමෙරිකා එක්සත් ජනපදය කියයි.

පසුගිය වසරේ ජූනි මාසයේ සිට ආරම්භ වී ඔඩුදුවා ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කටාර් නියෝජ්‍ය අගමැති මෙන්ම කටාර් විදේශ ඇමැතිවරයා ද වන ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී, නියෝජ්‍ය අගමැති මෙන්ම ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය කලීඞ් බින් මොහොමද් අල් අටියා ඇමෙරිකාවේ වොෂින් අගනුවරට ගියහ.

පසුගිය 30 වැනිදා ඔවුන් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදේශ ඇමැති) රෙක්ස් ටිලර්සන් සහ ආරක්ෂක ලේකම් (ආරක්ෂක ඇමැති) ජේම්ස් මැටිස් හමුවී, කටාර් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. හමුව පැවැත්වූයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආරක්ෂක සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්ය.

ත්‍රස්තවාදය පිටුදකිමින්, ගල්ෆ් කලාපීය ආරක්ෂාව සහ සාමය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ද කටාරයත් ඇමෙරිකාවත් අතර සාකච්ඡා පැවැත්විණි.

හටගත් අර්බුදය විසඳීමෙහිලා තීන්දු තීරණ ගැනීමේදී කටාර් ස්වෛරීත්වය සැමවිටම ආරක්ෂා කර ගත යුතු බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාත් ආරක්ෂක ලේකම්වරයාත් මෙහිදී තහවුරු කළේ යැයි ද වාර්තා වේ.

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් නිර්මාණය වුණු අර්බුදය මේ වනවිට මානුෂීය අර්බුදයක් තෙක් දුරදිග ගොස් ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් මෙන්ම ගල්ෆ් සහයෝගීතා සමුළුවේ සාමාජික රාජ්‍යයක් ද වන කටාරය සම්බන්ධයෙන් කිසිදු ‘අසාධාරණයක්’ සිදුවීමට ඉඩ නොදෙන බවට ඇමෙරිකා රජය වෙනුවෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සහතික විය.

කටාරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූයේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් කටාර් රාජ්‍යයේ අසල්වැසියා වන සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව චෝදනා එල්ල කිරීමත් සමඟය.

කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සෞදියේත් සෙසු රටවලත් උදහසට ලක් විය. සෙසු ගල්ෆ් රටවල් මෙන් නොව, කටාර් රාජ්‍යය ඉරානය සමඟත් තුර්කිය සමඟත් යහපත් සබඳතා පවත්වයි. එය ද සෞදියේත්, බහරේනයේත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත්, ඊජිප්තුවේත් උදහසට හේතුවක් වී ඇත.

සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යය ගල්ෆ් කලාපයේ හුදෙකලා කරමින්, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, වෙළෙඳ සම්බාධක පනවා ඇත. මෙය මානුෂීය අර්බුදයත් තෙක් දුරදිග ගොස් ඇත. ඉරානය සහ තුර්කිය කටාර් රාජ්‍යයට අවශ්‍ය ආහාර සැපැයීම සිදු කරයි.
පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සෞදිය සහ සෞදි හිතැති රටවල් පවසා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කොන්දේසි රැසක් කටාර් රාජ්‍යයට ඉදිරිපත් කර තිබේ. කටාර් රාජ්‍යය ද පවසා ඇත්තේ, තමන් සාකච්ඡා සඳහා සූදානම් නමුත්, තම ස්වෛරීත්වයට තර්ජනයක් වන අයුරින් ඉදිරිපත් කෙරන කොන්දේසිවලට එකඟ නොවන බවය.

කටාර් අර්බුදය විසඳීමට කුවේට් රාජ්‍යය මැදහත් වී සිටී. ඒ, ඇමෙරිකාවේ ද අනුදැනුම සහ කැමැත්ත පරිදිය. කුවේට් එමීර් ෂෙයික් සබා අල් අහ්මද් අල් අහමද් අල් ජබාර් අල් සබා ඇමෙරිකා රජය සමඟ නිරන්තරයෙන් අර්බුදය විසඳීම කෙරෙහි සාකච්ඡා පවත්වන බව ද පැවැසෙයි.
සෞදිය ඇතුළු සෙසු ගල්ෆ් රටවල් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි කටාර් රාජ්‍යයට චෝදනා කළත්, ගල්ෆ් කලාපයේත් මැදපෙරදිග කලාපයේත් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, ඇමෙරිකාවේ ප්‍රධානතම හිතවතා වන්නේ කටාර් රාජ්‍යයයි. කටාර් සහ ඇමෙරිකාව අතර ඉතා ශක්තිමත් ආරක්ෂක සහ බුද්ධි අංශ සබඳතා පවතින බව පැවැසෙයි.

(ද පෙනින්සියුලා ඇසුරිනි)


RECOMMEND POSTS