කොන්දේසි මැද හජ් වන්දනාවට අවසර



‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය හේතුවෙන් කල්දැමුණු හජ් වන්දනා සමය ලබන ජූලි මස අවසානයේ, දින 5 ක් පුරා පැවැත්වීමට තීරණය කළ නමුත්, මෙවර හජ් වන්දනාවට විදේශවලින් කිසිදු බැතිමතකු සහභාගී කර නොගන්නා බව සෞදි රජය කියයි.

සෞදි රජය මේ බව කියා සිටියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඒ අනුව, විදේශීය ඉස්ලාම් බැතිමතුන්ට හජ් වන්දනා සමය තහනම් වන පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

පසුගිය වසරේ හජ් වන්දනාවට එක් වුණු දෙස් විදෙස් බැතිමතුන් ගණන මිලියන 2.5 ට වැඩි යැයි විදෙස් මාධ්‍ය සිහිපත් කරයි. ‘හජ්’ වන්දනාව සම්බන්ධයෙන් මෙසේ තහංචි පැනැවීමට සිදුවී ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසයෙන් එල්ල වන තර්ජන හේතුවෙනි.

මෙවර හජ් වන්දනාව, සෞදියේ බැතිමතුන්ට පමණක් සීමා වුවත්, වන්දනාවට සහභාගී කර ගන්නේ ද සීමිත සෞදි බැතිමතුන් පිරිසක් බවත් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. බැතිමතුන් සහභාගී කර ගැනෙන්නේ සෞඛ්‍ය නීතිවලට අනුව බවත්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට බැතිමතුන් පියවර ගත යුතු බවත් සෞදි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

මේ වනවිට වයිරස වසංගතය හේතුවෙන් පැනැවූ තහංචි ලිහිල් කරමින්, සෞදියේ නගර යළි විවෘත කිරීමට සෞදි රජය පියවර ගෙන ඇතත්, සෞදියෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් 1,61,000 කට වැඩිය. මරණ වාර්තා වන්නේ 1,300 ක් ලෙසය. ගල්ෆ් කලාපීය රටකින් ‘කොවිඞ් 19‘ ආසාදිතයන් සහ මරණ වාර්තා වන පළමු අවස්ථාව මෙයයි.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS