කශොග්ජී ඝාතනයේ සුලමුල ලොවට හෙළි කරන්න



මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සුලමුල ලොවට අනාවරණය විය යුතු යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අවධාරණය කරයි.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් කිසිදු සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත්, ඇමෙරිකාව සෞදි අරාබියට බුරුළක් ලබා දී ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

සෞදි මාධ්‍යවේදියකු වූ කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු ද විය. පසුගිය ඔක්තෝබර් දෙවැනි දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී කාශොග්ජී ඝාතනයට ලක් විය. එය සිදුවූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇත.

සෞදි රජ පවුල මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මාධ්‍යවේදියා ඝාතනය සම්බන්ධයෙන් සෞදි ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට නඩු පැවැරීමක් ද කර තිබේ. තුර්කි ජනාධිපති පෙන්වා දෙන්නේ එය ප්‍රමාණවත් නොවන බවය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සෞදියේ සල්මාන් කුමරුන් අතරේ පවතින්නේ සමීප හිතවත්කමකි. සෞදිය සහ ඇමෙරිකාව අතර ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ගනුදෙනු සිදුවෙයි. එහෙයින්, සල්මාන් කුමරුන්ට එරෙහිව තමන් කිසිදු පියවරක් නොගන්නා බව ඇමෙරිකා ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

සල්මාන් කුමරුන් ඝාතනය පසුපස සිටිනවා යැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පවා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර තිබියදී, ඇමෙරිකා ජනපති ට්‍රම්ප් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ද තුර්කි ජනාධිපතිවරයා චෝදනා නගා ඇත.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS