එර්දොවාන් - පුටින් හමුවෙයි



සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.

තුර්කි ජනාධිපතිවරයාට රුසියානු ජනාධිපති පුටින්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. නායකයන් දෙදෙනාගේ කතාබහට ලක් වූයේ සිරියාවේ ඉඞ්ලිබ් පළාතය. සිරියාවේ ගැටුම් මේවනවිට මෙම පළාතය සීමා වී ඇත.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කර දැමීමෙන් පසු, ඉඞ්ලිබ් පළාතේ සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ට පක්ෂ සන්නද්ධ කල්ලි සහ සිරියානු රජයට විරෝධය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන සන්නද්ධ කල්ලි අතරේ ගැටුම් පවතී.

රුසියාව සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. තුර්කිය සහාය දක්වන්නේ සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන සන්නද්ධ කණ්ඩායම්වලටය. පවතින ගැටුම් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට එර්දොවාන් සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි.

සිරියාව සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයන් දෙදෙනා මොස්කව් අගනුවරට එපිටින් පැවැත්වුණු රුසියානු ගුවන් හමුදාවේ ගුවන් සන්දර්ශනයක් නැරැඹූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS