එමිරේට්ස් යානය අඟහරු ගමනට සූදානම්



අඟහරු ග්‍රහයා ගවේෂණයට රොබෝ යානයක් යැවීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සූදානම් වෙයි. ඒ අනුව, අඟහරැ ගවේෂණයට යැවෙන පළමු අරාබි රොබෝ ගවේෂණ යානය වනු ඇත්තේ මෙයයි.

ඉදිරි සති කිහිපය තුළ යානයට ඉන්ධන පිරවීමේ කටයුතු ආරම්භ කරන බවත් ඉන්පසු සුදුසු දිනයකදී එය අඟහරු බලා පිටත් කර හැරෙනු ඇති බවත් එමිරේට්ස්  අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ආයතනයේ ප්‍රධානී සාරා අලී අමීරි මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මෙම රොබෝ ගවේෂණ යානය කක්ෂීය යානයක් වන අතර, එය අඟහරු ගවේෂණ කටයුතු සිදු කරන්නේ කක්ෂයේ රුදී සිටිමිනි. යානය සාර්ථකව අඟහරු ග්‍රහයාගේ කක්ෂයට පිවිසුණොත් එය දින 687 ක් කක්ෂයේ රුදී සිටිමින්, අඟහරුගේ දත්ත රුස් කරනු ඇතැයි පැවැසෙයි. අඟහරැ ග්‍රහයාගේ වරසක් යනු දින 687 කි.

මාධ්‍ය හමුවට එක් වෙමින්, සාරා අලී අමීරි වැඩිදුරටත් පැහැදිලි කළේ, මෙම ගවේෂණ යානය ඉදි කළේ එක්සත් අරාබි එමිරේට්ස් අභ්‍යවකාශ ආයතනයට සම්බන්ධ තරැණ ඉන්ජිනේරැවන් පිරිසක් බවත්, අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් ඔවුන්ට නව පිටුවක් පෙරුළීමට හැකිවනු ඇති බවත්ය. යානයේ ස්කෑන් උපාංග නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ද සහාය ඇතිවය.

රොබෝ ගවේෂණ යානය නම් කර ඇත්තේ ‘අමල්’ යනුවෙනි. ‘අමල්’ යන වදනෙහි අර්ථය ‘බලාපොරොත්තුව’ යන්නය. එක්සත් අරාබි එමිරේට්ස් විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන් නිර්මාණය කළ මෙම රොබෝ යානය රොකට්ටුවක ආධාරයෙන් උඩුගුවනට විදිනු ලබනු ඇත්තේ ජපාන අභ්‍යවකාශ ආයතනයේ සහාය ඇතිවය. ‘අමල්’ උඩු ගුවනට විදීමට නියමිතව ඇත්තේ, ජපානයේ හුදෙකලාව පිහිටි නෙගාෂිමා දූපතේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. රොබෝ යානය අභ්‍යවකාශගත කිරීම ලබන ජූලි 14 වැනිදා සිදු කිරීමට බලාපොරොත්තු වන බව එමිරේට්ස්  අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ආයතනයේ ප්‍රධානී සාරා අලී අමීරි වැඩිදුරටත් පවසා ඇත.

ඩුබායි (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS