එමිරේට්ස් - ඉරාන සබඳතා අලුත් වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රධාන ජාතික ආරක්ෂක උපදේශක ෂෙයික් තන්නූන් බින් සයාද් අල් නහ්යාන්, ඉරානය සංචාරයක් සඳහා පැමිණ තිබේ.

ඉරානය සමඟ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීම, ෂෙයික් තන්නූන් බින් සයාද් අල් නහ්යාන්ගේ අරමුණ යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ෂෙයික් තන්නූන් බින් සයාද් අල් නහ්යාන් යනු අබුඩාබි ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සයාද්ගේ සොහොයුරාය. තෙහෙරාන් අගනුවරදී ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රායිසී හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, ෂෙයික් තන්නූන් බින් සයාද් අල් නහ්යාන් සහ ඉරාන ආරක්ෂක උපදේශක අලී ෂම්කානී අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.

ඉරාන මාධ්‍ය පවසා ඇත්තේ ෂෙයික් තන්නූන් බින් සයාද් අල් නහ්යාන්ට ඉරාන රජයෙන් සහ ඉරාන ආරක්ෂක උපදේශක අලී ෂම්කානීගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බවය. දෙරට අතර පවතින අර්බුද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම කෙරෙහි ආරක්ෂක උපදේශකවරුන් දෙදෙනාගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.

යේමනය අර්බුදය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය අතරේ ගැටුම් පවතී.

යේමන අර්බුදයේදී එරට හවුති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදින සෞදියට සහාය දක්වන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. හවුති කැරැලිකරුවන්, ෂියා මුස්ලිම්වරුන් වන අතර, ඔවුන්ට සහාය දක්වන්නේ ඉරානයයි.

සිවිල් යුද ගැටුම් නිසා යේමනයේ නිර්මාණය වු මානුෂීය ඛේදවාචකය සම්බන්ධයෙන් ද ආරක්ෂක උපදේශකවරුන් අතරේ සාකච්ඡාවට බඳුන් විය.

(රොයිටර්)


RECOMMEND POSTS