ඉරානයට දෙහි කපයි



ඉරානය ‘දූෂිත ඒකාධිපති පාලනයක්’ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඔහු එලෙස ඉරානයට චෝදනා කළේය. 

ඉරානය ‘දූෂිත ඒකාධිපති පාලනයකට’ සමාන කළ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉරාන පාලනය එරට ජනතාව පීඩාවට පමුණු වන්නේ යැයි ද කීය. 

“ඉරාන නායකයන් අවුල් ජාලයක් නිර්මාණය කරලා, ඔවුන් මරණය සහ විනාශය වපුරනවා” යැයි වාර්ෂික සැසිය අමතමින් කීවේය. 

“ඔවුන් ඔවුන්ගේ අසල්වැසියන්ට ගෞරව කරන්නේ නැහැ. අනෙකුත් රටවල දේශසීමා තකන්නේ නැහැ. අනෙක් ජාතීන්ගේ ස්වෙරී අයිතීන්වලට ගෞරව කරන්නේ නැහැ” යැයි ද හෙතෙම චෝදනා කළේය. 

ඇමෙරිකාව සහ ඉරානය අතර වත්මන් සබඳතා අතීතයේදී ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවැති සබඳතාවලට සමාන කළ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ප්‍රංශසා කිරීමට ද අමතක නොකළේය. උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නවතා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස උතුරු කොරියා නායකයාට ප්‍රංශසා කළේය. පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා, උතුරු කොරියානු නායකයා ‘රොකට් මෑන් (රොකට් මෑන්)’ කෙනකු යැයි පැවැසූවේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා තම කතාවේදී චීනයට ද දොස් පැවැරීය. චීනයේ වෙළෙඳාමේ නිරත වන ආකාරය විවේචනයට ලක් කළ ඇමෙරිකා ජනාධිපතිවරයා තෙල් අපනයන රටවල සංවිධානය (ඔපෙක්) හි ක්‍රියා කලාපය ද දෝෂදර්ශනයට ලක් කළේය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS