ඉරානය සමඟ එකඟතාව කඩන්න එපා



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරාන රජය සහ සෙසු ලෝක බලවතුන් අතර ඇතිකරගත් එකඟතා ගිවිසුම දිගටම පවත්වාගෙන යෑම කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අවධාරණය කරයි.

ඇතිකරගත් එම එකඟතාව සම්බන්ධයෙන් අඩුපාඩු පවතින්නේ නම්, ඒවා නිවැරදි කිරීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ද ජගත් මහලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, පොදු ගිවිසුමකට අත්සන් තැබීම සිදුවූයේ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේදීය. එම ගිවිසුමත් සමඟ ඉරානයට පනවා තිබුණු සම්බාධක ලිහිල් කිරීමට ද ඔබාමා පරිපාලනය කටයුතු කළේය.

කෙසේ නමුත් වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ ඉරානය විවේචනය කරමිනි. ඔහු තරයේ පවසා ඇත්තේ, ඉරානය කිසිසේත් විශ්වාස කළ නොහැකි බවත්, ඉරානය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවත්ය.

ඉරානයට සිය විරෝධය දක්වමින් ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට යළිත් වරක් ඉරානයට සම්බාධක පැනැවීමක් ද සිදු කර ඇත. ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන්, ඉරානය සමඟ ඇතිකරගත් එම ගිවිසුම නිසි ලෙස පවත්වා ගැනීමට සියලු පාර්ශ්වයන් කටයුතු කළ බවත් පැවැසෙයි.  

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS