ඉරාන හමුදා ප්‍රධානියා සිරියාවේ
ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමද් බකේරී ප්රමුඛ විශේෂ ධූත පිරිසක් සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණියහ. ඒ, සිරියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ආරක්ෂක සමුළුවට සහභාගීවීම සඳහාය.
ඉරාන හමුදාපතිවරයා ඇතුළු ධූත පිරිස පිළිගනු ලැබුවේ සිරියානු හමුදාපති ජනරාල් අලී අබ්දුල්ලා අයුබ් සහ සිරියානු ආරක්ෂක ඇමැති මේජර් ෆාද් ජසීම් අල් ෆ්රේජී විසිනි.
සිරියානු අර්බුදයේ දී ඉරානයේ සහාය හිමි වන්නේ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්රමුඛ ෂියා මුස්ලිම් රජයටය. ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි.
ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සන්නද්ධ අරගලයක යෙදෙන එරට විපක්ෂයට සහාය දක්වන අයි.එස්. හෙවත් තක්ෆීරී දයේෂ් ත්රස්තවාදීන් සහ අල් නුස්රා පෙරමුණ නමින් හැඳින්වෙන අල් කයිඩා ත්රස්තවාදීන් සුන්නි මුස්ලිම්ය.
ඉරානයේ පමණක් නොව, රුසියාවේ ද සහාය ඇතිව, අයි.එස්. ත්රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබ සිටි සිරියාවේ ප්‍රධාන නගර එකිනෙක යළි අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති.
සිරියානු රජයේ හමුදාවට අයි.එස්. ත්රස්තවාදීන් මර්දනයේ දී ඉරාන හමුදාවේ සහාය නොඅඩුව ලැබුණි.
ඉරාන හමුදාපතිවරයා ප්රමුඛ ධූත පිරිස සහ සිරියානු ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡා පැවැත්වෙන්නේ සිරියාවේ ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනි.
(ඒ.එෆ්.පී.)