ඉරාකයත් ඉරානයත් අතර ගිවිසුම් රැසක්



ඉරානය සහ ඉරාකය අතර මූලික වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණු බව ඉරාක නිලධාරීහු කීහ.

ඉරාන ජනාධිපති හසන් රොව්හානීගේ ඉරාක සංචාරය අතරතුරදී මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි. මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ සඳුඳාය. ඉරාන ජනාධිපති හසන් රොව්හානී නිල සංචාරයක් සඳහා ඉරාකයට පැමිණි පළමු අවස්ථාව මෙය විය. 

ඇමෙරිකා එක්සත් ජනපද සම්බාධක හමුවේ තම ආර්ථිකය ශක්තිමත් කරමින් ඉරාකය සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගැනීමත් දෙරට අතරේ වාණිජ සබඳතා පුළුල් කරගැනීමත් ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වූ බව වාර්තා විය. 

අත්සන් තබන ලද ගිවිසුම් අතරේ අසල්වැසියන් වන ඉරානය සහ ඉරාකය අතරේ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා ද ගිවිසුමක් අත්සන් කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය හුදකලා කිරීමට කොතරම් උත්සාහ කළත් ඉරානය තවමත් ඉරාකය තුළ ප්‍රබල භූමිකාවක් රඟ දක්වන බව ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයෙන් පෙනී යන බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.   

වසර 1980 සිට 1988 දක්වා කාලයේදී ඉරානය සහ ඉරාකය අතර දරුණු යුද්ධයක් පැවැතුණි. ඇමෙරිකා එක්සත් ජනපදය 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කරමින් එරට එවකට ජනාධිපතිවරයා වූ සදාම් හුසේන් බලයෙන් නෙරපා දැමීය. එහි ප්‍රතිඵලයක් තුළ ඉරාකය කේන්ද්‍ර කරගනිමින් සුන්නි ඉස්ලාමීය කැරැල්ලක් ඇති වූ අතර එය කලාපය තුළ ව්‍යාප්ත විය. සුන්නි ඉස්ලාමීය කැරැල්ලට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදය යැයි බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල විය. 

ඉරාන ජනාධිපතිවරයා සහ ඉරාක අගමැති අදෙල් මහ්දි අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබුණු බව ඉරාක අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තෙල්, වෙළෙඳාම, සෞඛ්‍ය, දකුණු ඉරාකයේ තෙල් නගරයක් වන බස්රා ඉරානයේ දේශසීමාවේ නගරයක් වන සලාම්චේ අතර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම යනාදිය එම ගිවිසුම්වලට ඇතුළත් ව තිබේ. 

ඉරානයේ සහ ඉරාකයේ සිටින ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට වීසා ලබාගැනීම පහසු කරවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ද නායකයන් දෙදෙනා අතර එකඟතාවක් ඇති කරගත් බව ඉරාක අගමැතිවරයාගේ කාර්යාලය සඳහන් කළේය.

ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය සහ ෂියා පාලනයක් සහිත අසල්වැසි අරාබි රටක් වන ඉරාකය අතර සබඳතා ශක්තිමත් කරගන්නා බව ඉරාන ජනාධිපතිවරයා තම නිල සංචාරය අවසන් කරමින් නැවත සිය රටට යෑමට පෙර ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය. 

“ඇමෙරිකාව වැනි කලාපයේ වෛරයට පත්වූ ආක්‍රමණික රටක් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගන්නා බැහැ. ඇමෙරිකානුවන් ඉරාකය, සිරියාව සහ කලාපයේ අනෙකුත් රටවලට බෝම්බ හෙළනවා. කාටවත් එය අමතක කරන්න බැහැ” යැයි ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මෙහ්ර් පුවත් සේවය වාර්තා කළේය. 

ඉරාන ජනාධිපතිවරයා ඊයේ (13) සහ පෙරේදා (12) ඉරාකයේ ශුද්ධ නගර වන කෙර්බාලා සහ නජාෆ් යන නගරවල සංචාරය කළ අතර ඉරාකයේ සිටින සිටින ෂියා ආගමික නායකයන් ද මුණ ගැසිණි. 

හර්ෂණ තුෂාර සිල්වා

රොයිටර් ඇසුරිනි 


RECOMMEND POSTS