ඇමෙරිකාවේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි



ඉරානයට පනවා ඇති ගෝලීය අවි සම්බාධක තව දුරටත් පවත්වාගෙන යා යුතු යැයි ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එසේත් නැතිනම් කවුන්සිලය සාමාජික රටවල් 15 කින් සමන්විතය. ඇමෙරිකාව, ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එම යෝජනාවලිය සම්මත කර ගැනීමට නම්, සාමාජික රටවල් 9 ක අනුමැතිය අවශ්‍ය වෙයි. කෙසේ නමුත් ඇමෙරිකාවට සහාය පළ කළේ ඩොමිනිකන් ජනරජය පමණි.

යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසද්දී, ප්‍රංශය, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් පවා සභාගැබේ නොසිටි බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. සුපුරුදු පරිදි රුසියාව සහ චීනය ඉරානයට පක්ෂව, ඇමෙරිකාවට විරෝධය දක්වා ඇත.

ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉරානයට එරෙහිව අවි සම්බාධක පවත්වාගෙන යෑම සිදුවන්නේ වසර 13 ක් තිස්සේය. 2015 දී, බැරැක් ඔබාමා ඇමෙරිකා ජනපති ධුරය හොබවද්දී, සෙසු බටහිර රටවල් ද හවුල් කර ගනිමින් ඉරානය සමඟ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සම්මුතියක් එසේත් නැතිනම් එකඟත්වයක් ඇති කර ගැණින. එම එක‍ඟත්වය අනුව, ඉරානයට පැනැවූ අවි සම්බාධක එලැබෙන ඔක්තෝබර් 18 වැනිදායින් අවසන් වීමට නියමිතය.

 2015 දී ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත් අතර, චීනයත් රුසියාවත්, සෙසු බටහිර රටවල් වන ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනියත් ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සමඟ එක් වී සිටී.

(අල්ජසීරා)


RECOMMEND POSTS