ඇමෙරිකාවේ අප‍්‍රසාදයට



තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී (හෂුක්ජී) ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජය නිල නිවේදනයක් නිකුත් කරමින් කළ පැහැදිලි කිරීම පිළිකුලෙන් හෙලා දකින බව ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලය පවසා ඇත.

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී, එහි සිටි පිරිසක් සමඟ කශොග්ජී රණ්ඩුවකට පැටැලී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ වී ඇති බවත්, පහරකෑමට ලක් වීමෙන් කශොග්ජී මියගිය බවත්, ගැටුමට සම්බන්ධ වුණු පිරිස, කශොග්ජීගේ සිරුර කොටස් කර සැඟවීමට පියවර ගත් බවත් සිද්ධිය වසං කිරීමට තැත් කළ බවත් සෞදි රජය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

ඉස්තාන්බුල් නුවර සෞදි තානාපති කාර්යාලයට ගිය අවස්ථාවේදී කශොග්ජී අතුරුදන් වූයේ පසුගිය දෙවැනිදාය. කශෝග්ජීගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයා බැලූ තුර්කි පරීක්ෂකයන් සාක්ෂි ද ගොනු කරමින් අනාවරණය කළේ, කශෝග්ජී ඝාතනය වූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි කියාය.

ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි කශොග්ජී ඝාතනය වුණු බවට තුර්කිය සාක්ෂි ඉදිරිපත් කර තිබියදී, සෞදිය එම සාක්ෂි බොරු කිරීමට උත්සාහ ගන්නා බවට ඇමෙරිකන් කොංග‍්‍රස් මණ්ඩලය චෝදනා නගයි.

කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදිය නිල ප‍්‍රකාශය නිකුත් කළ අවස්ථාවේදී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියා සිටියේ සෞදියේ එම ‘පැහැදිලි කිරීම’ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බවය. කෙසේ නමුත් කොංග‍්‍රස් මණ්ඩලයෙන් එල්ල වූ විරෝධය හමුවේ, ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් ද චෝදනා කර ඇත්තේ සෞදිය සත්‍යය වසං කිරීමට බොරු ගොතන බවය.

මේ අතර, කශෝග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදිය කළ ‘පැහැදිලි කිරීම’ සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත් විය නොහැකි බවත්, සිදුවුණේ කුමක්දැයි සම්බන්ධයෙන් සෞදිය සත්‍යය ලොවට හෙළි කළ යුතු බවත් බි‍්‍රතාන්‍යය, ජර්මනිය සහ ප‍්‍රංශය පමණක් නොව, යුරෝපා සංගමය පවා සෞදියට බල කර ඇත. ප‍්‍රංශය ජර්මනිය යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් දෙකකි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS