සුදුසු වෙලාව බලා පහර දෙයි



‘සුදුසු වෙලාව’ බලා ඊශ්‍රායලය අලුයම ඉරානයට පහර දුන්නේය. ‘ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්න පටන් ගත්තා. මොනවායින් මොනවා වේවිද? ලෝක යුද්ධයක් හටගනීවිද? එය න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් වේවිද?’ මේ, අප කාගේ කාගේත් සිතට නැගුණු ප්‍රශ්නයි. ඊශ්‍රායලය මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දුන්නේ ඉරානයේ ඉෂ්ෆහාන් නමැති නගරයටය. ඒ, පසුගිය 13 වැනිදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

ඊශ්‍රායල මිසයිල සහ ඩ්‍රෝන එල්ල වෙද්දී, ‘ඊශ්‍රායලෙයන් එන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දෙන්න සූදානම්’ යැයි කියමින් සූදානමින් සිටි ඉරාන ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක විය. ඉරාන හමුදාව ඔවුන් සතු මිසයිල ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළේය. ඒ අනුව ගුවනේ දී බොහෝ මිසයිල සහ ඩ්‍රෝන යානා විනාශ කිරීම සිදුවිය. ප්‍රහාරය එල්ල වූ ඉෂ්ෆහාන් නමැති නගරය ඇත්තේ ඉෂ්ෆහාන් පළාතේය. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ඉෂ්ෆහාන් නගරය අයත් ඉෂ්ෆහාන් පළාතේ පිහිටා තිබේ. ඉරානය නෂ්ටික බලවතකු නොවුණත්, ඉරානය ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට න්‍යෂ්ටික බලාගාර ඉදිකර ඇත. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන යටතේ රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා යැයි නිරන්තරයෙන් චෝදනා නගන්නේ ඊශ්‍රායලයයි. ඇමෙරිකාව සහ බටහිර රටවල් ඉරානයට සම්බාධක පනවා ඇත්තේ එම න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.

සැණින් ප්‍රතිප්‍රහාර එල්ල කළ නිසා, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට බරපතළ හානියක් සිදු නොවිණි. කෙසේ නමුත් ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වෙද්දී, ඉරානයේ තෙහෙරාන් අගනුවර ඉමාම් කොමේනී  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවා තාවකාලිව වසා දැමීමට පියවර ගැනුණි. ගුවන් ගමන් අවලංගු කෙරුණා පමණක් නොවෙයි, ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානා ආපසු හරවා යැවීමට ඉරාන බලධාරීහු කටයුතු කළහ.

අද (19) අලුයම, ඊශ්‍රායලය ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකාව දැනුවත් කරමිණි. ඉරානයට පහර දීමට තමන් ඊශ්‍රායලය උනන්දු නොකළ බව ඇමෙරිකා රජය අවධාරණය කර ඇත. ඉරානය සමඟ ගැටුමකට නොයන ලෙසත්, ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීම් සිදු නොකරන ලෙස තමන් ඊශ්‍රායලය පවසා ඇතැයි ද ඇමෙරිකාව වැඩි දුරටත් පවසා තිබේ.

පසුගිය 13 වැනිදා ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් පසුගිය දා බිය පළ කර තිබුණි. ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යයක් වුවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය, අති නවීන අවි ආයුධ සහ යුදෝපකරණවලින් සමන්විතය. න්‍යෂ්ටික යුද ශීර්ෂ 400 ක් පමණ ඊශ්‍රායල හමුදාව සතුය.මෙම යුද ශීර්ෂ සවි කළ මිසයිලවලින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දුන්නොත්, එම ප්‍රහාර වළක්වා ගැනීමට ඉරානයට හැකියාවක් නොලැබෙනු ඇති බවත්, න්‍යෂ්ටික පිපිරීම් සිදුවී මහා විනාශයක් සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් අවධාරණය කර ඇත. පරමාණු බලශක්ති බලාගාරවලට පහර දීමෙන්, ඉරානය ක්ෂණිකව අඩපණ කිරීමට ඊශ්‍රායලයට හැකියාව ලැබෙනු ඇත.

ඊශ්‍රායලයට ලොව එකම යුදෙව් රාජ්‍යය වන අතර, ඉරානය ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. ඉරාන ඊශ්‍රායල අර්බුදය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග ගියහොත් එය න්‍යෂ්ටික යුද්ධයකට පෙරළී, අවසානයේ ලෝකය ද අවසන් වනු ඇතැයි ඇතැම් විදෙස් විශ්ලේෂකයන්ගේ අදහසය. ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇති බැවින්, ඉරානය, ඊශ්‍රායලය ගැටුම තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග ගියහොත්, ඊශ්‍රායලයට බටහිර බල කඳවුර වන ඇමෙරිකාව සහ සෙසු ‘නේටෝ’ සාමාජික රටවල සහාය හිමිවනු ඇත. ඉරානයට, ඇමෙරිකා විරෝධීන් වන රුසියාව, සිරියාව, චීනය, යේමනය පමණක් නොව උතුරු කොරියාවේ ද සහාය සෘජුව හෝ වක්‍රව හිමිවනු ඇතැයි පැවැසෙයි. වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඉරාන සහ ඊශ්‍රායල විරසකය තවත් උත්සන්න වී ඇත්තේ ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙනි. ගාස තීරයේ ඊශ්‍රායල හමාස් ගැටුමට මාස 6 ක් ගත වී ඇත. ඉරානයේ සහාය හිමිවන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහ පලස්තීන මුස්ලිම් වැසියන්ටය.

පසුගිය 13 වැනිදා, ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ, අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය, සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයකට පහර දීමේ සිද්ධියට පලි ගැනීමක් වශයෙනි. ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදාවේ හමුදා ප්‍රධානීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පසුගිය 13 වැනිදා ඊශ්‍රායලයට පහර දුන්නේ, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බව, ඇමෙරිකාවට දැනුම් දෙමිනි. ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ජීවිත අනතු​රේ දමමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ ද ඇමෙරිකාවේ සහාය ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව ලැබෙන බැවිනි.

ඉරානයට ප්‍රහාරයට ‘සුදුසු වෙලාව’ බලා ප්‍රතිචාර දක්වනවා යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේ එම ඉරාන ප්‍රහාරයෙන් පසුවය. පසුගිය 13 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු එම ප්‍රහාරයෙන් පසුවත් අද (19) අලුයම ඉරානයට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුවත්, ලොව සෑම රටක්ම ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා ඇත්තේ හටගත් ගැටුම්කාරී තත්ත්වය තවත් උත්සන්න වීමට ඉඩ නොතැබිය යුතු බවය. ඇමෙරිකාව ඊශ්‍රායලයට දිගින් දිගටම පවසා ඇත්තේ ඉරානයට පහර දෙන්නේ නම් තමන් ඊට සහාය නොදක්වන බවය.

ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS