ඇමෙරිකාවෙන් පළිගන්නවා



ඉරාන හමුදා නායක ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නවා යැයි ඉරාන විල්පවීය හමුදාවේ කුද්ස් බලඇණියේ නව නායකයා ලෙස එම තනතුරට පත් කෙරුණු බි‍්‍රගේඩියර් ජනරාල් ඉස්මයිල් කානී පවසා ඇත.

කුද්ස් බළඇණිය පිහිටුවූ දා පටන් ඊට නායකත්වය දුන්නේ ජනරාල් කසීම් සුලෙයිමානී ය. ඉස්මයිල් කානී, සුලෙයිමානිගේ දෙවනියා ලෙස කටයුතු කළ හමුදා නිලධාරියාය. ඒ, දශකයක් පුරාවටය.

කුද්ස් යනු ඉරාන විප්ලවීය හමුදාවේ, ආධාරක බළඇණියකි. මෙම බළඇණිය ක්‍රියාත්මක වන්නේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ අණ පරිදිය. මියගිය සුලෙයිමානී සේම, බළඇණියේ නව නායකයා බවට පත්වුණු ඉස්මයිල් කානී ද ඉරාන උත්තරීතර නායකයාගේ සමීපතමයන් යැයි පැවැසෙයි.

ඉරාන උත්තරීතර නායක අලී කමේනිගේ උපදෙස් පරිදි විදේශවල මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ මෙම කුද්ස් බළඇණියයි.

ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද මෙම බළඇණිය ත්‍රස්ත සංවිධාන ලෙස හඳුන්වයි. පසුගිය 3 වැනිදා ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමුණු සුලෙයිමානී ත්‍රස්තවාදියකු ලෙස සැලකිණි.

සුලෙයිමානී මරා දැමීම සම්බන්ධයෙන් පළි ගන්නේ ඉරාකයේ ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් නොව, ඇමෙරිකාවේ මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් පහර දෙමින් යැයි බි‍්‍රගේඩියර් ජනරාල් ඉස්මයිල් කානී කළ අනතුරු අඟවීමෙහි සඳහන් වී තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS