ඇමෙරිකාවට එරෙහි වුණොත් වැඩ වරදීවි



ඇමෙරිකානුවන්ට අනතුරක් කළොත්, ඉරාන නව හමුදා නායක ඉස්මයිල් කානී ට අත්වනු ඇත්තේ ද ජනරාල් කසීම් සුලෙයිමානීට අත්වුණු ඉරණම යැයි ඉරානය වෙනුවෙන් පත් කර සිටින ඇමෙරිකන් විශේෂ නියෝජිත බ්‍රයන් හුක් අනතුරු අඟවා ඇත.

බ්‍රයක් හුක් මෙසේ මෙම අනතුරු ඇඟවීම කළේ අරාබි බසින් පළ වන ‘අෂාර්ක් අල් අව්සාත්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදීය.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුව පැවැත්වෙයි. ජනපති ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයෝ රැසක් ඊට සහභාගී වෙති. ට්‍රම්ප් පිරිවරා ගනිමින් ඩවෝස් සමුළුවට ගිය නියෝජිත කණ්ඩායමේ එක් සාමාජිකයකු වන්නේ බ්‍රයන් හුක් ය.

ජනරාල් කසීම් සුලෙයිමානී ඉරාන විප්ලවීය හමුදාවේ ‘කුද්ස්’ ආධාරක බළඇණිය මෙහෙය වූ හමුදා නායකා විය. මෙම හමුදා බළඇණිය මෙන්ම සුලෙයිමානී ද ත්‍රස්තවාදියකු ලෙස ඇමෙරිකාව නම් කර තිබුණි. ඇමෙරිකානුවන්ට තර්ජනයක් වූ බැවින්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි සුලෙයිමානී ඝාතනය සිදුවූයේ පසුගිය 3 වැනිදාය.

ඉස්මයිල් කානී කුද්ස් බළඇණියේ නායකයා ලෙස පත් කෙරුණේ ඉන්පසුවය. ඉස්මයිල් කානී, සුලෙයිමානීගේ දෙවැනියා ලෙස කටයුතු කළ නිලධාරියාය. කුද්ස් බළඇණිය ක්‍රියාත්මක වෙන්නේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ අණ පරිදිය.

‘සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළි ගන්නා බවත්, ඇමෙරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන බවටත් ඉස්මයිල් කානී අනතුරු අඟවා තිබේ. ඇමෙරිකන් විශේෂ නියෝජිත බ්‍රයන් හුක් පෙරළා ඉස්මයිල් කානී ට අනතුරු ඇඟවූයේ එම ප්‍රකාශය මුල්කොට ගනිමිනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS