ඇමෙරිකා-ඉරාන අර්බුදයට මැදිහත් වෙන්නේ නෑ



ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති වී තිබෙන අර්බුදයට මැදිහත් නොවන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසීය. රුසියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ට පැමිණි අවස්ථාවේදීය.

රුසියාව එම ගැටුමට මැදිහත් නොවුණත්, කලාපයේ කලබල ඇති කරන්නේ කවුරුන් වුවත් තරාතිරම නොබලා එය ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කීය. කවුරුන් කලබල ඇති කළත් එය අනුමත නොකරන බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාශයේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු විදේශ අමාත්‍යවරයා ඒ බව කීවේය.

“ඇමෙරිකාවේ හා ඉරානය අතර තියෙන ප්‍රශ්නයට මැදිහත් වීමට අපට කිසිම වුවමනාවක් නැහැ. කිසිම ආකාරයේ මැදිහත්වීමක් කරන්න අපට ඕනෑ නැහැ” යැයි රුසියානු විදේශ අමාත්‍යවරයා කීය. 

“සිහිය තියෙන කිසිම මනුස්සයෙක් ගල්ෆ් කලාපයේ ගැටුමක් ඇති වෙනවාට කැමැති නැහැ. ගැටුම් ඇති වුණොත් මිනිස් ජීවිත රැසක් අහිමි වෙනවා. ඒ නිසා සිහිය තියෙන කිසිම කෙනෙක් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ” යැයි ඔහු කීය.

“මීට වසර කිහිපයකට පෙර ඉරානය ප්‍රධානතම ත්‍රස්තවාදියා යැයි ඇමෙරිකාව චෝදනා කළා. සියලු යක්ෂයන්ගේ මුල ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා කළා. එහෙත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේ නැහැ. ඉරානය සමඟ නෛතිකව වෙළෙඳාම් කරන ඕනෑම රටකට දඬුවම් කරන්නත් සම්බාධක පනවන්නත් ඇමෙරිකාව සැලැසුම් කළා. ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ද ගෙනාවා” යැයි හෙතෙම කීවේය. 

මෙම නව අර්බුදවලට හේතුව ඇමෙරිකාව එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කිරීම යැයි කී රුසියානු විදේශ අමාත්‍යවරයා එම සිදුවීම් “ජාත්‍යන්තරව පිළිගන්නා සියලු සම්මතයන්ට පටහැණි” යැයි ද කීවේය.

සියලු පාර්ශව සංයමයෙන් කටයුතු කළ යැයි අවධාරණය කළ රුසියානු විදේශ අමාත්‍යවරයා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත යුතු යැයි ද පැවැසීය.

“මම දන්න විදියට ඇමෙරිකාව සහ ඉරානය ප්‍රශ්න විසඳාගන්න සූදානම්. සාකච්ඡාවලට පෙර පූර්ව කොන්දේසි දමන්නේ නැතැයි ඇමෙරිකාව කියනවා. එහෙත් ඉරානයට සම්බාධක පැනවීමට වැඩි ඉඩක් තියෙනවා කියලත් ඇමෙරිකාව කියනවා. ඇමෙරිකාව ඉරානයට සාකච්ඡාවලට ආරාධනා කරන ගමන් ඔවුන් ඉරානයට පූර්ව කොන්දේසි පනවනවා” යැයි ද ඔහු කීය.

ප්‍රංශ හා ජපාන නායකයන් මේ තත්ත්වය සමථයකට පත් කරන්න සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කී රුසියානු විදේශ අමාත්‍යවරයා ඔවුන්ට සහාය දීමට සූදානම් යැයි ද කීවේය.

මැදපෙරදිග කලාපයේ අර්බුදයක් වුවහොත් ඉන් ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ල වනු ඇතැයි පෙන්වාදුන් හෙතෙම ශ්‍රී ලංකාවේ වෙළෙඳාමට පමණක් නොව ඉරානය සහ මැද පෙරදිග කලාපයේ සියලු රටවලටත් අනෙක් රටවලටත් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද වැඩිදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS