අලුත් ආණ්ඩුවක් හදන්න එක්වෙමු



ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිවකුටත් ජයග්‍රහණය හිමිකර ගැනීමට නොහැකි හෙයින්, දක්ණිණාංශික ‘ලිකුද්’ පක්ෂය නියෝජනය කරන අගමැති නෙදන්යාහු හවුල් රජයක් පිහිටුවීමට සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන ‘නිල් සහ සුදු’ සන්ධානයේ නායක විශ්‍රාමික හමුදා ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස්ට ඇරැයුම් කර ඇත.

තම ප්‍රධාන අපේක්ෂකයා මේ අයුරින් හවුල් කර ගනිමින් හවුල් රජයක් පිහිටුවීමට අගමැති නෙදන්යාහු ගත් තීරණය කාගේත් මවිතයට හේතුවක් වී ඇත. කෙසේ නමුත් අගමැති නෙදන්යාහු ගත් මෙම තීරණය ඊශ්‍රායල ජනාධිපති රෙවෙන් රිව්ලින්ගේ පැසැසුමට හේතුවෙක් වී ඇති බව ද පැවැසෙයි.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ, දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක් වන අගමැති නෙදන්යාහු පස්වැනි වරටත් අගමැති ධුරයේ රැඳී සිටීමේ අරමුණින් ‘උප්පරවැට්ටියක්’ සකස් කර ඇති බවය.

අගමැති නෙදන්යාහුගේ ඇරැයුමට විශ්‍රාමික හමුදා ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස්ට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. විශ්‍රාමික හමුදා ජනරාල් ග්‍රෑන්ට්ස් සහ ඔහුගේ නිල් සහ සුදු සන්ධානය මධ්‍යස්ථ මතධාරී පක්ෂයකි. අගමැති නෙදන්යාහු ප්‍රතික්ෂේප කළත් ඔහුට මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇත. විශ්‍රාමික හමුදා ජනරාල් ග්‍රෑන්ට්ස්ට මීට පෙර අවස්ථා ගණනාවකදී කියා සිටියේ තම පක්ෂය ‘ලිකුද්’ පක්ෂය සමඟ හවුල් නොවන බවය.

ආසන 120 කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. බහුතර බලය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුව ඇත. කෙසේ නමුත් අවසන් ප්‍රතිඵල අනුව නිල් සහ සුදු සන්ධානයට ආසන 33 ක් හිමිවිය. නෙදන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂයට දිනා ගැනීමට හැකිවී ඇත්තේ ආසන 32 කි. මැතිවරණයේ තුන්වැනි බලවේගය අවිග්දෝර් ලයිබර්මන්ගේ ‘ඉස්රායල්’ පක්ෂයයි.

මීට මාස පහකට පෙර ද ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයෙන් ද බහුතර බලයක් දිනා ගැනීමට නෙදන්යාහුගේ පක්ෂය අසමත් විය. අගමැතිවරයා පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට හැකි විය. එම රජය මාස කීපයකින් බිඳ වැටුණි. පසුගිය 17 වැනිදා යළි මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණේ ඒ අනුවය.

පසුගිය අප්‍රේල් මාසයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 68.5 ක් බවත් 17 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 69.4 ක් බවත් ඊශ්‍රායල මැතිවරණ කොමිසම කියයි. මෙවර 4,440,141 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටී.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS