අයි. එස්.ත්‍රස්තයන්ගෙන් බේරී එන සිවිල් වැසියන්ට දැඩි අපහසුතා



 අයි.එස් ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශවලින් පැන එන ඉරාක වැසියන් මිලියනකට වැඩි සංඛ්‍යාවක් ආහාර හා ඉන්ධන නොමැති වීමත් වර්ෂාවත් ශීත කාලගුණයත් නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සතියකට ආසන්න කාලයක් තිස්සේ ආහාර හා ඉන්ධන මොසුල් නුවරට ළඟා වී නැතැයි ද එම වාර්තා සඳහන් කරයි. විපක්ෂ සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඉරාක හමුදා මොසුල් නුවරට ප්‍රහාර එල්ල කරන අතර නැගෙනහිර කොටසේ තවමත් බලය ඇත්තේ අයි.එස් ත්‍රස්තවාදීන් සතුවය. ඉරාක හමුදා හා මිත්‍ර පාර්ශව මේ වනවිට මොසුල් නුවර දකුණු සහ උතුරු කොටස් අත්පත් කරගෙන සිටින අතර බටහිර කොටසේ ත්‍රස්තවාදීන්ගේ සැපයුම් මාර්ග ද අවහිර කර ඇත. 
 
මොසුල් නුවර මුදා ගැනීමේ සටන් ආරම්භ කර මේ වනවිට සති හයක් ගත වී තිබුණ ද අයි.එස් ත්‍රස්තවාදීන් තවමත් හමුදා වෙත දැඩි ප්‍රති ප්‍රහාර එල්ල කරයි.
 
අයි.එස් ත්‍රස්තවාදීන් මොසුල් නුවර බලය අත්පත් කරගත්තේ 2014 වසරේදීය. ඉන්පසු ඔවුහු උමං මාර්ග සහ සැපයුම් මාර්ග ජාලයක් ඉදි කරමින් එහි බලය ව්‍යාප්ත කළහ. මොසුල් යනු උතුරු ඉරාකයේ විශාලතම නගරයයි.  
 
කාලගුණ තත්ත්වය නිසා සහන කඳවුරු වෙත ළඟා වීම ප්‍රමාද වී ඇති අතර ඉදිරි මාස කිහිපයේදී සිවිල් වැසියන් දැඩි අපහසුතාවලට මුහුණ දෙනු ඇතැයි පැවසේ. පසුගිය ඉරිදා සිට මේ දක්වා සතියක කාලයේදී මොසුල් නුවරට ආහාර හෝ ඉන්ධන සපයා නැතැයි ද එහි සිට දුරකතනයෙන් සම්බන්ධ වූ ව්‍යාපාරිකයකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. සටන් හා කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුම් ද අඩාල වී ඇතැයි පැවසේ. ඉරාක හමුදා සහ අයි.එස් ත්‍රස්තවාදීන් අතර ගැටුම්වලින් 650,000 වතුර සපයන නාලවලට හානි සිදු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 
 

අයි.එස් ත්‍රස්තවාදීන්ගෙන් මොසුල් නුවර මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් ගත වූ කාලයේදී 80,000 දහසක් අවතැන් වූවන් ලෙස ලියාපදිංචි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ. සටන් ආරම්භ වීමත් සමඟ අයි.එස් පාලන ප්‍රදේශවලින් ජනතාව පැන එන බව ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS