අගමැති නෙදන්යාහු පසුබසී



ඊශ්‍රායල මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව, පස්වැනි වරටත් අගමැති ධුරය අපේක්ෂා කරන අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ දක්ෂිණාංශික ‘ලිකුද්’ පක්ෂය පසුබෑමකට ලක් වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

අගමැති නෙදන්යාහුට අභියෝගයක් එල්ල වී ඇත්තේ ප්‍රතිවාදී අපේක්ෂක විශ්‍රාමික හමුදා ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස්ගේ ‘නිල් සහ සුදු’ සන්ධානයෙනි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව ලෙසය. ආසන 000 කින් සමන්විත නෙසට් සභාවේ බහුතර බලය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුව ඇත.

නිල නොවන ප්‍රතිඵල අනුව, ග්‍රෑන්ට්ස්ගේ ‘නිල් සහ සුදු’සන්ධානය ආසන 32 ත් 34 ත් අතර සංඛ්‍යාවක් ලබා ගනු ඇති බවත්, අගමැති නෙදන්යාහුගේ ලිකුද් පක්ෂය ආසන 30 ත් 33 ත් අතර සංඛ්‍යාවක් දිනා ගනු ඇති බවත් පැවැසෙයි.

ඒ අනුව, අගමැති නෙදන්යාහුට පමණක් නොව, ග්‍රෑන්ට්ස්ට ද තුන්වැනි බලවේගයක් සමඟ හවුල් වී ආණ්ඩුවක් පිහිටුවීම කළ යුතු වෙයි. තෙවැනි බලවේගය වන්නේ අවිග්දෝර් ලයිබර්මන්ගේ ‘ඉස්රායල්’ පක්ෂයයි. ඒ අනුව, ලයිබර්මන්ගේ පක්ෂය ‘රජුන් තනන්නා’ බවට පත් වනු ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මීට මාස පහකට පෙර ද ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීමට නෙදන්යාහුගේ පක්ෂය අසමත් විය. සන්ධානගතව රජයක් පිහිටුවුවත් එය ද මාස කීපයකින් බිඳ වැටුණි. යළි මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණේ ඒ අනුවය.

පසුගිය අප්‍රේල් මාසයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 68.5 ක් බවත් 17 දා පැවැති මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 69.4 ක් බවත් ඊශ්‍රායල මැතිවරණ කොමිසම කියයි. මෙවර 4,440,141 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටී.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS