සිරියානු විපක්ෂයට ඇමෙරිකාවෙන් වෙඩි නොවදින මෝටර් රථ



සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට සන්නද්ධ අරගලයක් මෙහෙය වන එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සැදුම්ලත් ‘සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව’ ට ඇමෙරිකාව වෙඩි නොවදින මෝටර් රථ ලබා දීමට කටයුතු කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය පවසයි.

එම මෝටර් රථ පරිහරණය කරන බව පැවැසෙන්නේ ‘සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව’ යනුවෙන් හැඳින්වෙන සංවිධානයේ ප්‍රධානීන්ය. මෝටර් රථ රහසේ බෙදා දී ඇත්තේ ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසුව යැයි ද ප්‍රෙස් ටීවී පුවත් සේවය අනාවරණය කරගෙන ඇත.

සිරියාවේ අයි.එස්.අයි.එස්. සටන්කාමීන්ට තමන් කිසිදු සහායක් ලබා නොදෙන බවත්, ඔවුන් මුලිනුපුටා දැමීමට සටන් කරන බවටත් ඇමෙරිකාවේ නව ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.

කෙසේ නමුත් සිරියානු රජයට එරෙහිව අවි අතට ගත්, අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ කිසිදු සම්බන්ධයක් නොපවත්වන සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙන බව හෝ සහාය නොදෙන බව ට්‍රම්ප් මෙතෙක් පවසා නැත.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS