යේමන සාම සමුළුව ස්වීඩනයේ ඇරැඹේ



එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් යේමන සාම සමුළුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ විය.

සෞදි හිතවාදී යේමන රජය සහ රජයට විරෝධය දක්වමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී සටන් වදින ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායම් දෙකක් සාකච්ඡා සඳහා ස්ටොක්හෝම් වෙත පැමිණ සිටි බව වාර්තා විය.

සාම සාකච්ඡා මෙහෙයවීම සිදු කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් විසිනි. ඊට නායකත්වය දුන්නේ යේමනය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත මාටින් ග්‍රිෆිත්ස්ය.

යේමන අර්බුදය ආරම්භ වූයේ 2016 වසරේදීය. ඒ, සෞදි හිතවාදී යේමන රජය පෙරළා බලය අල්ලා ගැනීමට යේමන විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් උත්සාහ ගැනීමත් සමඟය.

සාම කතා ආරම්භ වූයේ හටගෙන ඇති අර්බුදයට පැහැදිලි දේශපාලනික විසඳුමක් ගෙන ඒම සඳහාය. සාම කතා පැවැත්වීමට යේමන රජයේ පාර්ශ්වයේ සහ හවුති කැරැලිකරුවන්ගේ කැමැත්ත ලබා ගැනීම සිදුවූයේ මාස ගණනාවක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් ද පසුවය. සාම සාකච්ඡා පැවැත්වෙන කාලයේ යේමනයේ සටන් විරාමයක් පැවැත්වීමට ද එකඟත්වයක් පළ වී ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS