ජගත් සංවිධානයේ පිහිට



ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරමින්, පවුලේ අයගෙන් බේරී, සරණාගතයකු ලෙස තායිලන්තය හරහා ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කළ ගත් 18 හැවිරිදි සෞදි යුවතියට පිහිටවීමට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රහාෆ් මොහොමද් අල් කුනාන් නමැති මෙම යුවතිය, ඕස්ට්‍රේලියාව බලා යෑමේ අරමුණින්, පසුගිය සති අන්තයේ තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණ ඇත. ඇය බැංකොක් බලා පැමිණෙන බව, ඇගේ පවුලේ අය සහ සෞදි රජය, තායිලන්තයේ සෞදි තානාපති කාර්යාලයට සහ එරට සිටින සෞදි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දැනුම් දී ඇතැයි පැවැසෙයි.

බැංකොක් ගුවන්තොටුපොළට ගොඩබෑ සැණින්, සෞදි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පැමිණ රහාෆ්ගේ ගමන් බලපත්‍රය ඔවුන්ගේ බාරයට ගෙන ඇති බව ද වාර්තා විය. සෞදි බලධාරීන් තායිලන්ත රජයට බල කර ඇත්තේ ඇය ආපසු සෞදිය බලා යවන ලෙසටය. එම අවස්ථාවේදී ඕස්ට්‍රේලියා රජයෙන් තමන්ට වීසා ලැබී ඇති බව යුවතිය තායිලන්ත ආගමන විගමන නිලධාරීන්ට පැහැදිලි කර ඇත.

එවිට සෞදි තානාපති කාර්යාලය තායිලන්ත පොලිසියට පවසා ඇත්තේ, යුවතිය නිවසින් පලා යන තැනැත්තියක බවත්, ඇය වහා අත්අඩංගුවට ගෙන පවුලේ ඥාතීන්ට ඇය බාර දිය යුතු බවත්ය.

ඒ අනුව තායිලන්ත පොලිසිය එරට ආගමන විගමන නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන් රහාෆ් මොහොමද් අල් කුනාන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය ඊට විරුද්ධ වූවාය. ගුවන්තොටුපොළ හෝටල කාමරයේ දොර වසා ගනිමින්, ඇය එයින් පිටවීම ප්‍රතික්ෂේප කළාය.

මෙම අවස්ථාවේදී ඕස්ට්‍රේලියා රජය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය මැදිහත් වී, රහාෆ් මොහොමද් අල් කුනාන්ට ආරක්ෂාව ලබා දීමට කටයුතු කළේය. රහාෆ් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනයේ නිලධාරීන්ගේ බාරයට පත් වූයේ ඒ අනුවය. රහාෆ් සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ඕස්ට්‍රේලියාව පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS