එකඟතාවෙන් ට්‍රම්ප් ඉවත් වුණේ ඔබාමාට රිද්දන්න



ඉරාන න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේ, හිටපු ජනාධිපති ඔබාමා සහ ට්‍රම්ප් අතර පවතින නොහොඳ නෝක්කඩු නිසා යැයි ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් කිම් ඩොරේෂ්ගේ වාර්තාවක සඳහන් වෙයි.

2015 වසරේ ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාය. හිතුවක්කාර අන්දමින් පැවැති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඔබාමා මැදිහත් වී, පොදු එකඟතාවක් ඇති කර ගත්තේ, රුසියාව, මහා බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය ද හවුල් කර ගනිමිනි.

රිපබ්ලිකන් ජනාධිපති ට්‍රම්ප් සහ ඔබාමා අතර මත ගැටුම් පවතින අතර, ට්‍රම්ප් එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ, එම ගිවිසුම නීති විරෝධී බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත් ජනපති ට්‍රම්ප් එම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ එව නීතිවිරෝධී නිසා නොව, එය ඔබාමා මැදිහත් වී සකස් කළ ගිවිසුමක් නිසා යැයි ශ්‍රීමත් කිම් ඩොරේෂ් විශේස වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

ඩොරේෂ් සකස් කළ මෙම වාර්තාව ඇතුළු තවත් රහස් ඊ මේල් පණිවුඩ රැසක් ප්‍රසිද්ධියට පත්විණි. ඒ සමඟ ජනපති ට්‍රම්ප් සහ ඩොරේෂ් සමඟ අර්බුදයක් හටගත් අතර අවසානයේ, ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ධුරයෙන් ඩොරේෂ් ඉල්ලා අස්විය. ඇමෙරිකාව න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී, ඉරානයට සම්බාධක පැනැවීමක් ද කර ඇත. ඒ සමඟ මේ වනවිට ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS