ඉරාන ඇමෙරිකා යුද්ධයක් නෑ



ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානය කළ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කළේය.

ඉරානය ඇමෙරිකන් කඳවුරු ඉලක්ක කර ගනිමින් බලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ නමුත් උඩු ගුවනේදී ඒවා විනාශ කිරීමට, ඇමෙරිකන් හමුදා සමත් විය.

ඒ අනුව ජීවිත හානි සිදු නොවිණි. මිසයිල එල්ල කර, ඇමෙරිකාවට අතුල් ප්‍රහාරයක් එල්ල කළැයි පැවැසූ ඉරානය ඉන්පසුව කියා සිටියේ තමන් ආත්මාරක්ෂාව වෙනුවෙන් එම ප්‍රහාරය කළ බවත්, යුද්ධයකට යෑමේ අදහසක් නොමැති බවත්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ සිට මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, යුද්ධයකට යෑමේ අදහසක් ඇමෙරිකාවට ද නොමැති බවය.

ඒ අනුව, ඇමෙරිකාවත් ඉරානයත් අතර අර්බුදය සමතකයට පත් වන ලකුණු පහළ විය.

‘ඉරානය පසුබැසීමකට ලක් වුණා. ඔවුන් සූදානම් නැහැ යුද්ධයකට යන්න. ඔවුන් වගේමයි අපත් පසුබසිනවා. යුද්ධ කරන්නේ නැහැ. එසේ වුණත්, වහා ක්‍රියාත්මක වන පරිදි, ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රබල අන්දමින්, ආර්ථික සම්බාධක රැසක් පනවනවා. ඉරානය ඔවුන්ගේ ක්‍රියාකලාපය වෙනස් කරගන්නා තුරු මේ සම්බාධක ක්‍රියාත්මක වනු ඇත.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික අවි සිහිනය අත්හැර දැමිය යුතුයි. ත්‍රස්තවාදය අනුග්‍රහය දීම සහ උඩගෙඩි දීම නැවැත්විය යුතුයි. ඉරානය මේ වනවිට හයිපර් සොනික් වර්ගයේ මිසයිල නිර්මාණය කරන බව ආරංචියි. එම කටයුතු නැවැත්විය යුතුයි.

අපේ හමුදාව වඩා ශක්තිමත්. අපට වඩා හොඳ ප්‍රබල අවි තිබෙනවා. එසේ තිබුණු පළියට ඒවා භාවිත කරන්න අදහසක් අපට නැහැ. ඒවා භාවිත කරන්න ඕනෑකමක් අපට නැහැ. ඇමෙරිකාව හමුදාමය වශයෙන් පමණක් නොව ආර්ථිකයෙන් ද ශක්තිමත්.

ඉරානය කිසිම තේරුමක් නැති න්‍යෂ්ටික එකඟතාවකට අත්සන් තැබුවා. ඉරානයේ එදිරිවාදිකම් ඉහළ යෑමට පටන්ගත්තේ එම න්‍යෂ්ටික එකඟතාවෙන් පසුවයි. ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවේ, ඔවුන් ‘ඇමෙරිකාවට මරණය’ යැයි කියමින් ප්‍රීති වුණා. ඊට පස්සේ ඉරානය ත්‍රස්තවාදයට යොමු වුණා. ඒ, එම එකඟතාව නිසා ලැබුණු මුදල් යොදා ගනිමින්.

වෙලාව ඇවිත්, මහා බ්‍රිතාන්‍යයට, ජර්මනියට, ප්‍රංශයට, රුසියාවට සහ චීනයට මේ යථාර්ථය තේරුම් ගන්න. ඔවුන් ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් ඉවත් වෙන්න ඕනෑ. අප හැමෝම කළ යුත්තේ ලෝකය ආරක්ෂිත සහ වඩාත් සාමකාමී තැනක් වන ආකාරයේ නව ගිවිසුමක් ඉරානය සමඟ ඇති කර ගැනීමයි.

අද මම නේටෝවෙන් ඉල්ලීමක් කරනවා. මැදපෙරදිග කලාපයේ කටයුතුවලට වැඩියෙන් මැදිහත් වෙන්න. ශිෂ්ට සමාජය, පැහැදිලි ශක්තිමත් පණිවුඩයක් ඉරාන රෙජීමයට ලබා දිය යුතුයි. ඔබේ බියවැද්දීම්, ත්‍රස්ත ක්‍රියා සහ ඝාතන කෙරෙහි තවදුරටත් අප නිහඬව බල සිටින්නේ නැහැ.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ඉරානයේ සතුරෙක්. අයි.එස්. විනාශ කර දැමීම ඉරානයට හොඳ දෙයක්. මේ සම්බන්ධයෙන් අප දෙපාර්ශ්වය එක් වී කටයුතු කළ යුතුයි. සාමය අපේක්ෂා කරන ඕනෑම කෙනකු සමඟ සාමයෙන් ඉන්න ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම්.’ යැයි ට්‍රම්ප් පැවැසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS