නාසා අඟහරු මෙහෙයුමට සම්බන්ධ මෙලනි



ඇමෙරිකාවේ නාසා ආයතනය තවත් අඟහරු ගවේෂණ මෙහෙයුමකට සූදානම් වෙයි. ඒ, එහි ජීවීන් සිටීද? ජීවීන් සිටියාද? සහ ජීවින්ට සුදුසු පරිසර තත්ත්වයක් තිබෙනවාද? යන්න සොයා බැලීමටය. නාසා අඟහරු වෙත යවන රෝවර් යානයේ විදුලි ඉන්ජිනේරු පරිපථය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරියකි. ඇය මෙලනි නිලන්ති මහආරච්චිය. මෙහි දැක්වෙන්නේ ඇය ගැන බී.බී.සී සිංහල වෙබ් අඩවියේ පළවුණු සටහනකි.

මෙලනි නිලන්ති මහආරච්චි ඇගේ සැමියා සමග ඇමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ 2003 වසරේදීය.මෙලනි මේ වන විට අභ්‍යවකාශ සහ ගුවන් යානා නිර්මාණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය ඉංජිනේරුවරියකි.

මෙලනි පවසන්නේ නාසා ආයතනය (National Aeronautics and Space Administration) සහ SpaceX (Space Exploration Technologies) නම් පෞද්ගලික ආයතනය ද මේ වනවිට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගෙන යාහැකි ආකාරය ගැන පරීක්ෂණ කරමින් සිටින බවය.

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් යටතේ ක්‍රියාත්මක SpaceX ආයතනය අඟහරු ග්‍රහයා මත 2050 වනවිට මිනිස් ජනපදයක් පිහිටුවීම අරමුණු ඇතිව කටයුතු කරයි.

මෙලනි, මේ වනවිට එම ආයතන දෙකෙහි ම සේවය කර ඇත. ඇය නාසා ආයතනය සමග එක් වී ඇත්තේ 2015 වසරේදීය.

"මම විශ්ව විද්‍යාලයෙන් අස්වෙන කොට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසා එකට සම්බන්ධ වෙලා Mars Rover ව්‍යාපෘතියට එක් වෙනවා කියලා. ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක හරි අමාරුයි. මගේ ප්‍රධානියා මාව LinkedIn එකෙන් දැකලා මැසේජ් කරලා ඇහැව්වා රැකියා අවස්ථාවක් ගැන එයත් එක්ක කතා කරන්න කැමති ද කියලා. මම එතකොට බෝයිං සමාගමේ වැඩ කළේ. ව්‍යාපෘති දෙක තුනක්ම තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයිං එකෙන් හොඳට ගෙවනවා නමුත් Mars Rover නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසෙ ම තිබ්බා. 10 දෙනෙක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙන කොට හරිම මහන්සියි. ඔක්කොම ඉවර වෙලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා ."

මෙලනි පවසන පරිදි Mars Rover යානය තුළ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) තනියෙන් ම නිර්මාණය කර ඇත්තේ ඇය විසිනි.

බී.බී.සී. සිංහල ඇසුරිනි


RECOMMEND POSTS